Tuesday, November 10, 2026
HomeNEWSරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අධිකරණයේදී පිළිගත් කරුණ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අධිකරණයේදී පිළිගත් කරුණ

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව අද පස්වන දිනටත් කොළඹ මහාධිකරණයේදි විභාගයට ගැනුණි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාගවන නඩුවට අදාළව වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාද අද (29) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් තමන් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා නොදුන් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

එහිදි නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත හරස් ප්‍රශ්න යොමුකරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ ප්‍රහාරයට පෙර අප්‍රේල් 04 වනදා ලද විදෙස් පෙර දැනුවත් කිරීම අප්‍රේල් 20 වනදා දක්වා නිශ්චිත බුද්ධි තොරතුරක් බවට පත් කරගැනීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වුනේද යන්නය.

සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ ප්‍රහාරයට පෙර දින පස්වරු 04.12ට විදෙස් බුද්ධි අංශයේ තොරතුරුකරුගෙන් තමන්ට යළි ඇමතුමක් ලැබෙන තුරු අප්‍රේල් 04 ලද තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කිරීමට තමන් ළඟ දත්ත නොතිබූ බවය.

මෙහිදී විත්තියේ නීතිඥවරයා යළි ප්‍රශ්න කළේ අප්‍රේල් 04 සිට අප්‍රේල් 20 දක්වා වූ කාලය තුළ ඔබ විසින් එවකට පොලිස්පතිවරයාට ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් ලබා නොදුන් බව පිළිගන්නේද යන්නය.

“ඔව් මම පිළිගන්නවා. ප්‍රහාරයට පෙර දිනය වෙනකම් මම ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් ලබාදුන්නේ නැහැ. නමුත් මම අප්‍රේල් 04 ලද තොරතුර, සහරාන් හෂිම් අප්‍රේල් 16 කර තිබු පෙර පුහුණුව වැනි දේ පිළිබඳ තොරතුරු ලබාදුන්නා” යැයි සාක්ෂිකරු පැවසීය.

මෙහිදි විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විමසුවේ ප්‍රහාරයට පෙර දින ලද නිශ්චිත බුද්ධි තොරතුර ඒ වන විට රටේ ආරක්ෂක අමාත්‍යවරයා රට තුළ නොසිටි වටපිටාවක එය අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට ඔබ කටයුතු කළේද යන්නය.

එයට පිළිතුරු දුන් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු නොකළ බවය.

ඉන් අනතුරුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් සාක්ෂි විමසූ අතර පොලිස්පතිවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධිකරණයක් හමුවේ අද සාක්ෂි ලබාදුන්නේ පළමු වරටය.

පොලිස්පතිවරයාට පියවරක් ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයකින් ලබාදෙන තොරතුරක් නිශ්චිත බුද්ධි තොරතුරක් විය යුතුමදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී විමසා සිටියේය.

එයට සාක්ෂිකාර පොලිස්පති මෙලෙස පිළිතුරු දුනි,

” නැහැ. සෑම විටම රාජ්‍ය බුද්ධි අංශයෙන් නිශ්චිතම බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. පොලිස්පතිවරයා තමයි පවතින තොරතුරු වර්ධනය කිරීමට සහ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ. එබැවින් යම් දෙයක් විය හැකි කියලා තියෙනවා නම් ඒ දේ වුණොත් මොනාද කරන්නේ කියන තැන ඉඳලයි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හෙට යම් ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා කියලා තොරතුරක් ආවොත් අද එය වුනොත් කියන අවදානම අරගෙනයි ආරක්ෂිත වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ.” 

තමාට ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශකින් තොරතුරක් ලැබුණහොත් තමා එය හොඳින් අධ්‍යයනය කර,  බුද්ධි අංශ සහ වෙනත් පළපුරුදු විශේෂඥයන් සමඟ සාකච්ඡා කර පියවරගන්නා බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබට අති රහස්‍ය වාර්තාවක් ලැබුණහොත් ඔබ එය එලෙසින්ම පහළ නිලධාරින් වෙත යවන්නේ දැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසීය.

“මම එසේ කරන්නේ නැහැ. මම කරන්නේ එම වාර්තා හොඳින් අධ්‍යනය කරලා, අවශ්‍ය උපුටා ගැනීම් කරලා පොලිස්පතිවරයාගේ සුදුසු නියෝග සමඟ පහළට යවන එක. මොකද රාජ්‍ය නායකයෙක් තරමටම පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා මම නියෝග දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න බැහැ.”  යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු දුනි.

පසුව, නඩු විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වනදා දක්වා කල් තැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img