“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය යටතේ 2022 වසර තුළ තවත් නව නිවාස 2,000 ක් රට පුරා ඉදිකරන වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
වත්මන් රජය මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල නිසි ලෙස කළමණාකරණය කර ගනිමින් ජනතාව අතට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය විසින් ජනතාවට ආධාර මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේම බදු මුදල් වලින් බවත්, සාර්ථක රජයක් වන්නේ එම ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කළ “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
“මිහිඳු නිවහන” වැඩසටහන යටතේ පූජ්‍ය අරුන්කුලියේ උදිතවංශ හිමියන්ගේ සහ පූජ්‍ය අරුන්කුලියේ සුමනවංශ හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් පුත්තලම, මාදම්පේ, මුගුණුවටවන ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද අද පෙරවරුවේ සිදු කෙරිණි.
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් පුත්තලම, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුම්බුටුකුලිය සහ වෛරන්කට්ටුව ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති 3 කට මුල්ගල තැබීමද අද සිදු කෙරිණි. මෙහි නිවාස 170ක් ඉදිවේ.
“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය සදහා තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 12 දෙනෙකු සදහා රුපියල් මිලියන 6 ක් වටිනා නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම, “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 183 දෙනෙකු සදහා රුපියල් මිලියන 118 ක් වටිනා චෙක්පත් ප්රදානය කිරීම, ගංවතුර නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 71 දෙනෙකු සදහා රුපියල් මිලියන 42 ක් වටිනා චෙක්පත් ප්රදානය කිරීම, අඩු ආදායම්ලාභී නිවාස ආධාර ව්‍යාපෘති වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 33 දෙනෙකු සදහා රුපියල් මිලියන 21 ක් වටිනා චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. විවිධ නිවාස ව්‍යාපෘති සදහා අද දින ලබා දුන් මුළු මුදල රුපියල් මිලියන 189 කි.
මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.






















