ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කූඨ ලෙස අලෙවි කරන සහෝදරයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසු කරදීමට ‘අද දෙරණ උකුස්සාට’ හැකිවුණි.
උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටවල හිඟයක් පසුගිය දිනවල දිවයින තුළ මතු වුණි.
එය හේතු කරගෙන රහසිගතව මෙරටට එම කට්ටල ගෙන්වා අලෙවිකරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වී තිබුණි.
ඒ අනුව උකුස්සා පළමුව එම ජාවාරම සිදුකරන පුද්ගලයෙකු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත්තේය.
ජාවාරම පිළිබඳව තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව අප ඒ පිළිබඳව විෂය භාර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත දැනුම් දුනි.
අනතුරුව එම නිලධාරීන් සහ මහජන සාමය ආරක්ෂා කිරීමේ අංශයේ පොලිස් නිලධාරීන් සමග උකුස්සා වැල්ලම්පිටිය ප්‍රදේශයට ළඟාවිය.
එම අවස්ථාවේදී අදාළ ස්ථානයට ජාවාරම්කරු ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රැගෙන ආවේය.
එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් ජාවාරම්කරුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ විවිධ වර්ගයේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 1,000කට ආසන්න තොගයක් සොයා ගැනුණි.
ඔවුන්ගේ නිවෙස්වල කිසිඳු ප්‍රමිතියකින් තොරව අසුරා තිබූ ඖෂධ තොගයක් සහ ඔක්සිමීටර තොගයක්ද සොයාගනු ලැබීය.
මෙහිදී ඉන්දියාවේ සහ චීනයේ නිෂ්පාදිත වර්ග පහකට අයත් රුපියල් මිලියන එකහමාරක් පමණ වටිනාකමකින් යුත් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
මුදලට ගිජුවී මිනිස් ජීවිත අනතුරේ හෙලන මෙවැනි ජාවාරම් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ තවදුරටත් අවධානයෙන්.






















