2021(2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අද (04) දිනයට නියමිත ප්‍රායෝගික පරීක්ෂණ සුපුරුදු පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වේලාවල් ලැබී ඇති විභාග අපේක්ෂකයින් නියමිත වේලාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත වාර්තා කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙයි.
කෙසේවෙතත් ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඊයේ (03) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබු ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වුණු අතර ඊයේ දිනට වේලාවක් ලැබුණු සිසුන් අද දිනයේ දී පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණ දිනයක් සහ වේලාවක් ලබාගන්නා ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර, දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණී සිසුන් සඳහා අද දිනයේ සිට පාසල් නිවාඩුව ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ නිවාඩු අප්‍රේල් මස 18 වන දින දක්වා ක්‍රියාත්මක බවය.
ඊට අමතරව උතුර, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල්වලට ද අද දිනයේ සිට පාසල් නිවාඩුව ලබාදීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර යන පළාත්හි පාසල්වල වාර පරීක්ෂණ අවසන් වී නොමැති සිසුන් පමණක් ඉදිරි දිනවලදී පාසල් වෙත කැඳවා අදාළ විභාග කටයුතු සිදුකර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් අද සිට පාසල් ළමුන් සඳහා නිවාඩු ලබාදුන්න ද විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සාමාන්‍ය පරිදි පාසල් වෙත වාර්තා කළ යුතු වෙයි.
විදුලි කප්පාදුව සහ පවතින ප්‍රවාහන ගැටලු පාදක කරගනිමින් අද දිනයේ සිට පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද සිට ලබන 8 වන දින දක්වා බස්නාහිර පළාතේ සියලු කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
මේ අතර නව ගුරුපත්වීම් 4643ක් සඳහා පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ද කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.






















