නාරාහේන්පිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි දුරකථන අලෙවිසැලක් බිඳ රුපියල් කෝටියකට අධික වටිනා දේපළ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාරාහේන්පිට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද ලැප්ටොප් 14ක්, අයිපෝඩ් 06ක්, ස්මාර්ට් ජංගම දුරකථන 03ක්, හෙඩ් සෙට් 03ක්, අයිපෑඩ්, රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාර්ට් ඔරලෝසු 03ක් ඇතුළු උපකරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඉකුත් දෙවෙනිදා සැකකරු අදාළ අලෙවිසැලේ ඉදිරිපස වීදුරුව බිඳ ජංගම දුරකථන ඇතුළු උපකරණ සොරකම් කර ඒවා කැළි කසල ප්‍රවාහනය කරන කරත්තයක බහා කුරුඳුවත්ත තුරඟ තරග පිටිය අසලට රැගෙනවිත් තිබුණි.
පසුව සොරකම් කළ දුරකථන එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක වහළේ සඟවා තිබූ බව පොලීසිය පවසයි.
සැකකරු 37 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ ප්‍රදේශයේ සොරකම් 18 කට සම්බන්ධ වු පුද්ගලයෙක් බව අනාවරණ වී තිබේ.
පොලීසය පැවසුවේ ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවය.
සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






















