පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කඩුවෙල ප්රදේශයේ ගල්කොරියකින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවූ කඩවත ඉහල බියන්විල ප්රදේශයේ පදිංචි තුවාන් සිරාර් නමැති අයෙකි.
එම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබුණි.
එසේම අදාළ සැකකරුට එරෙහිව බරපතළ චෝදනා 13ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වෙමින් ඇති බවද නවගමුව පොලීසිය ප්රකාශ කර සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ බව කියන ආයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ප්රදේශයේ ගල්වලක් වෙත රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී සැකකරු ගල්කොරිය ඉහළ සිට පහළට ඇදවැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව නවගමුව පොලීසිය පවසයි.
පසුව බරපතළ තුවාල ලැබූ සැකකරු අතුරුගිරිය ඔරුවල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර සැකකරු සමඟ පොර බැදීමෙන් තුවාළ ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා අතුරුගිරිය ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිත අතර නවගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.






















