එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා 2023.12.02 වන දින පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවගරු නියෝජ්‍ය කතා නායක තුමනි, මම හිතන්නේ අද දවසේ ඉතාම වැදගත් අමාත්‍යංශයක් සාකච්ඡාවට ගන්න අවස්ථාවේ අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.අධිකරණ කටයුතු හා බන්ධනාගාර සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කරලා තිබෙන්නෙත් විශේෂයෙන් බංකොලොත් වූ රටක ඉදිරිපත්වෙලා තිබෙන වැය ශීර්ෂ ගැන තමයි නියෝජ්‍ය කතා නායක තුමනි අපි කතා කරන්නෙ. ඇත්තවශයෙන් අපේ අධිකරණ ඇමතිතතුමා ඒ වගේම, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් තුමිය, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් තුමා ඇතුළු සමස්ත නිළධාරින්ට මේ සභාවේ ස්තූතිය පිරිනැමෙන්න ඕන. මොකද අපේ වසන්ත පෙරේරා මහත්තයත්, තුෂාර උපුල්දෙණිය මහත්තයත් ඇතුළු සියළු දෙනාම ඉතාම අමාරු යුගයක අඩුම පහසුකම් මැද්දේ ප්‍රශ්න ගණනාවක් විසඳමින් ඉදිරියට ගෙනයාම ගැන ඇමතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩල වලට අපේ ස්තූතිය පුද කරන්න කැමතියි. විශේෂයෙන් මේ අමාත්‍යංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්. ඒ නිසා හරි පරිස්සමින් සියළු දෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 107 – 111 ට අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වගේම 111 – 117 දක්වා අධිකරණ සේවා කොමිෂන් සභාව, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය 118 – 136 දක්වා, ඒ වගේම අභියාචනාධිකරණය 137-147 දක්වා, අධිකරණ 105-106 දක්වා. මම හිතන්නේ නියෝජ්‍ය කතා නායක තුමනි අපේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හරි අඩක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් වෙනවා. මම ඇහුම්කන් දීගෙන හිටියා විශේෂයෙන් සඳහන් කළා ස්ථාවර නියෝග ගැන. මම හිතනවා ස්ථාවර නියෝග පොතට අනුව අපි වැඩ කරනවා නම්, මම දවසකුත් කිව්වා අපි අපේ වැඩ කරනවා නම් ස්වාධීනව අධිකරණය අධිකරණයේ වැඩ කරනවා නම් ස්වාධීනව රටට යහපතක් සිදුවෙයි කියලා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ (2) 14 වන ව්‍යවස්ථාවේ 1 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙන් ප්‍රකාශකොට පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම් පිළිබඳ භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව ය. ඒ මම කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැසිරෙනවා නම් ගොඩක් ප්‍රශ්න අපිට විසඳගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙයෙවීම් මූලධර්ම හා මූලික යුතුකම්. මේක මම කියන්න යන්නේ නෑ දවසක් කියපු හන්දා. මම නියෝජ්‍ය කතා නායක තුමාගෙන් ඉල්ලා සිටිනවා ඔය පිටුව හැන්සාඩ් ගත කරන්න කියලා මේ කතාවට සම්බන්ධ වෙන නිසයි. ඒක පිටුවයි. ඒකෙ සඳහන් වෙන ප්‍රධාන කාරණයක් තමයි ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුකම්ද, ජීවන තත්ත්වය නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජීය හා සංස්කෘතික ඉඩ ප්රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් සියළු පුරවැසියන් විසින් තමන්ට සහ පවුලට සාමාජිකයන්ට අත්කර දීම නියෝජ්‍ය කතා නායක තුමත්, මගෙත්, මේ සභාවේ ඉන්න සියලු දෙනාගෙත් වගකීම. හැබැයි ඒ 27, 28, 29 නැවත මං සඳහන් කරනවා. ඒ 29 සඳහන් වෙන්නෙ, මොකද නඩු නිමිත්තක් ගැන කතා කරපු නිසා මම කියන්නේ, මේ පරිච්ඡේදයේ විධි විධාන හේතුකොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේය. නීතියෙන් කිසිම බැඳිමක් ඇති නොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධි විධාන අධිකරණයක් හෝ විනිශ්චයාධිකරණයක් මගින් ක්‍රියාත්මක කරවාගත නොහැක්කේ ය. මගේ වචන නොවේ, මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නෙ. එම විධාන වලට අනුකූල වීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් කවර වූ හෝ අධිකරණයක හෝ විනිශ්චයාධිකරණයකට ඉදිරිපත් කළ නොහැක්කේ ය. එහෙම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ, මොකද ව්‍යවස්ථාවයි ස්ථාවර නියෝග අනුවයි වැඩ කරනවා නම් මං හිතනවා දෙගොල්ලන්ටම හොඳයි. දැන් බලන්න මම බැලුවා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් 37 වෙනි වගන්තිය. ඒකේ සඳහන් වෙනවා මෙහෙම, ඒ කියන්නෙ අර අපි කියන මූලික අයිතිවාසිකම් හා අපි දේශපාලඥයන් හැටියට ඉදිරිපත් කරන කරුණු කාරණා සම්බන්ධයෙන් තිබෙන පිටු කිහිපය ඉන්දියාවෙත් තිබෙනවා. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තියේ මෙසේ කියනවා, මෙම කොටසේ සඳහන් වගන්ති කිසිදු අධිකරණයක් ඉදිරි පිටදී අභියෝගයට ලක් කළ නොහැක. එහි සඳහන් ප්‍රතිපත්ති රාජ්‍ය පාලනයේ මුලික වන අතර, නීති සම්පාදනය කිරීමේ දී මෙම ප්‍රතිපත්ති අනුගමනය කිරීම රජයේ වගකිමකි. මේක ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා. ලංකාවෙත් තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා, මේ හැම තැනම තියෙනවා. මේ තියෙන්නේ වෙන දෙයකට නොවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 255 දෙනාගේ ආරක්ෂාව ස්වාධීනව තිබිය යුතු නිසා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන මම පටන් ගන්නකොට කිව්වා. ඒක ස්වාධීනව තිබිය යුතුයි. එයට කිසි කෙනෙක් ඇඟිලි නොගැසිය යුතුයි. ඒ ගැන විවිධ මත පළවෙන නිසා ස්ථාවර නියෝග ගැනත් කියපු නිසා, මම නැවත අහගෙන හිටියා මගේ මිත්‍ර සුහන්තිරන් මන්ත්‍රී තුමා (83) 1 ගැන කිව්වා. (83) 1 නම් අපි ඊළඟට අපි යන්න ඕන 91 සිංහල (ඊ) වගන්තියට. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් යම් යෝජනාවක දී විවාදයක දී අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුවක් දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳ සඳහන් කරනු නොලැබිය යුත්තේය.විනිශ්චයට භාජනය වී තිබෙන කාරණයකට එරෙහිව රීතිය කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රී වරයෙකු සිය ආසනයේ අසුන් ගන්නා ලෙස නියෝග කරලීමට කතා නායක වරයාට, මූලාසනාරූඩ මන්ත්‍රී වරයාට හැකිය. මොකද ස්ථාවර නියෝගය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක ගැන කියපු නිසා මම මේ කාරණා කිව්වේ. අපි මම හිතනවා පාර්ලිමේන්තුවේ අපි අපේ වැඩ කටයුතු අත් හරිනවා. අධිකරණයේ කටයුතු අපි සාකච්ඡා කරන්න යෑම මම හිතන්නේ සුදුසු වෙන්නෙ නෑ කියලා. මොකද උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පොතේ තිබෙන ඒවායින් භාගයක් තිබෙන්නෙ අධිකරණය ගැන. එහෙනම් අපි පරිස්සමින් මේ අධිකරණ විවාදය පවත්වාගෙන යා යුතුය. මේ ව්‍යවස්ථාවේ තිබෙන පොතෙන් හරි අඩක් අර මම කියපු ශ්‍රේෂ්ඨාධිකරණය හා අනෙකුත් අංශ. ඒ නිසා ඒ ගැන මම එපමණයි කියන්නේ. අපේ ඇමතිතුමා ඇත්තවශයෙන් නඩු සම්බන්ධයෙන් විශාල කාරණා ගණනාවක් සඳහන් කළා. නඩු ලක්ෂ ගණනක් ගැන කිව්වා. අපි ඒ ගැන ස්තූති වන්ත වෙනවා අනෙකුත් සියලු කතිකයන්ට ඒක පහසුවන් වුණා. ඒ නඩු ප්‍රමාද වීම ගැනත් මම හිතනවා අපේ ආංශික කාරක සභාවට ආපු අවස්ථාවෙත් මේ සංඛ්‍යාලේඛන අපි දැක්කා. දැන් මේවත් යම් වෙනස්කම් වලට භාජනය විය යුතුව තිබෙනවා. සමහර නඩු අවුරුදු 35, 40, 50 සහ 52 යන නඩුත් තිබෙනවා ඉතිහාසයේ. ඉතින් ඒ නිසා මේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන නීති රීති විශාල ප්‍රමාණයක් අධිකරණ ඇමතිතුමා සංශෝධනය කරන්න උත්සාහ කරනවා. සංශෝධනය කරමින් තිබෙනවා. අවශ්‍ය කාර්යය මණ්ඩල අධිකරණ සේවා කොමිෂන් සභාවට නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට නැහැ. අභියාචනාධිකරණයට නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රශ්න ගණනාවක්. සේවකයෝ විශාල හිඟයක්. අනිත් පැත්තෙන් ගත්තම මේ දෙපාර්තමේන්තු කිහිපයටම එක්කො රාජ්‍ය පරිපාලන විෂයෙන් ඉවත් කරලා Close Department හැටියට, එහෙම නැතිනම් තමන්ගේ දෙපාර්තමේන්තුව හැටියට හසුරුවාගැනීමේ අයිතිය එක්කො ලබා දෙන්න ඕන. එහෙම නැතිනම් මේ දෙපාර්තමේන්තු ගෙනියන එක විශාල ප්‍රශ්නයක්. නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුව ගත්තත්, නීතිපති දෙපාර්තමේන්තුව ගත්තත්, ශ්‍රේෂ්ඨාධිකරණය ගත්තත්, රෙජිස්ට්‍රාර්වරු ඇතුළු අනෙක් කාර්ය මණ්ඩල ගත්තත්, මේවායේ තිබෙන සේවක හිඟය නිසා ඇතිවෙලා තිබෙන අර්බුදය අතිමහත්. එහෙනම් බංකොලොත් වූ රටේ එක පැත්තකින් සේවක හිඟය. අනික් පැත්තෙන් මේ නිළධාරින්ගේ තිබෙන දීමනා සහ අනෙක් ප්‍රශ්න. අනෙක් පැත්තෙන් බදු ප්‍රශ්න. මේ සේරම අපි අවසන් කරගන්න තිබෙනවා බංකොලොත්භාවය නිදහස් කරගත්තට පසුව. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා බලනවා දෙසැම්බර් මාසය අවසන් වෙනකොට මේ බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගන්න. බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගත්තම විශාල සහනයක් අධිකරණ අමාත්‍යංශයට එහෙම නැතිනම් අපේ විජයදාස ඇමතිතුමා ප්රමුඛ සම්පූර්ණ කාර්යය මණ්ඩල වලට ලබා දිය යුතුව තිබෙනවා. ඒක රටේ පැවැත්මට ඉතා වැදගත්. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත්තත් එතුමා ඒකෙ සංඛ්‍යා ලේඛණ 28,000 ක් සිර කරුවන්. සිර ගෙවල් 30 යි ලංකාවෙ. එතකොට බන්ධනාගාර ගත වෙලා ඉන්නවා 17,000 ක්, ඊළඟට මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් ඉන්නවා 10,000 ක්, එතකොට මේ තත්ත්වය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් බරපතල තදබදයක ඉන්නෙ. ඒ කියන්නෙ ඉන්න සිරකරුවන් විශාල තදබදයකට ගමන් කරලා තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවත් අවුරුදු 150 ට වඩා පැරණි දෙපාර්තමේන්තුවක්. මං හිතනවා විශාල වෙනස්කම් විය යුතුව තිබෙනවා. ලෝකයේ රටවල අලුත් ක්‍රම සොයාගෙන තිබෙනවා. කවුරුහරි අත්අඩංගුවට ගත්තම එයාට පොඩි අතේ හරි කකුලේ හරි වළල්ලක් තිබෙනවා. ඒක පරිගණකගත කරලා තිබෙන්නේ. එයා ගෙදර නිවාස අඩස්සියේ තියාගන්න තිබෙනවා. එහෙනම් අලුත් ක්‍රමවලට යා යුතුව තිබෙනවා අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුලේ මේ සිරගෙවල් 30 හේ අවස්ථාව තිබෙන්නෙ 10,000 ට යි. එතකොට 28,000 ක් සිරකරුවන් පාලනය කරන්න තිබෙනවා. ඇත්තවශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක හිඟයත් 1,500 ට එහා ගිහිල්ලා. එතකොට බරපතල අවස්තාවක්. විවේචනය කරන්න පුලුවන් දෙපාර්තමේන්තු අඩුපාඩු කියන්න පුලුවන්. ඒ වගේම අපේ පැත්තෙන් තිබෙන සහන ටික ඒ පැත්තට ලබා දිය යුතුව තිබෙනවා. මං හිතනවා රජයක් හැටියට විශේෂ ප්රමුඛත්වයක් ලබා දිය යුතු අමාත්‍යංශයක් තමයි අධිකරණ අමාත්‍යංශය. මේ අමාත්‍යංශය විජයදාස ඇමතිතුමා ඉතාම හොඳින් ඒ කටයුතු තිබෙන අවම මුදල් ප්‍රමාණය ඇතුලේ හසුරුවමින් තිබෙනවා. මං හිතනවා මේ වර්ෂය තුළ එයට විශාල සහයෝගයක් ලබා දිය යුතුව තිබෙනවා මූලාසනාරූඩ මන්ත්‍රී තුමනි.එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම. හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මාධ්‍ය ඒකකය






















