මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි.විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.” ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක ” යන මැයෙන් එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත්නිවේදනය” ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක ” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනෙකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහු වෙති.”වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේයැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්” සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටු වීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒක පාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ.ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැටට්රික් මහතා වෙත අද දින (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දෙනු ලැබිණි.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයකොළඹ2025 මාර්තු 26 වැනිදා






















