විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මැතිතුමාසභාපතිමානව හිමිකම් කොමිසම,ඩුප්ලිකේෂන් පාර,බම්බලපිටිය.ගරු මැතිතුමනි,දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා වූ උත්සාහය පිළිබඳව විරෝධය පළකිරීම.ඔබතුමාගේ 2025.05.22 දින දරන, අධිකරණ ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා බලකිරීමක් සිදුකෙරෙන බව ඉතා පැහැදිලිය. මීට පෙර යොමු කරන ලද ලිපි දෙකක් මගින් එම ඉල්ලීම ඉටු කරන ලෙස ඉල්ලා ඇතත්, එය ඉටු නොවීම පිළිබඳව ඔබතුමාගේ ලිපිය මගින් තවදුරටත් වක්‍ර බලපෑමක් සිදුකර ඇත.ඔබ ආයතනය විසින් ඒකපාර්ශ්විකව ඒ ආකාරයට ඇමතිවරයාට බලපෑම් කිරීම සඳහා ඔබතුමාට අදාළ නිතිමය ප්‍රතිපාදන මගින් බලතල ලබා දී තිබෙන්නේද යන්න සැක සහිතය. විශේෂයෙන්ම කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව සහ පවතින සාක්ෂි සැලකිල්ලට ගැනීමකින් තොරව, ඒ ආකාරයට ජාතික වැදගත්කමක් සහිත කරුණක් පිළිබඳව ව්‍යවස්ථාදායකයට සහ විධායකයට බලපෑම් කිරීම වැරදි පූර්වාදර්ශයක් බව සඳහන් කළ යුතුය.ඔබ ආයතනය විසින් අඩු තරමින් 2015 සිට පසුගිය වසර 10ක කාලය සඳහා පොලිස් වාර්තා විශ්ලේෂණයක් සිදු කළා නම්, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මගින් පද්ධතියක් ලෙස LGBTQIA ප්‍රජාවට වෙනස්කම් සිදුකිරීමක් සිදු නොකරන බව ඉතා පැහැදිලිව දැකගත හැකිය. එම කාලය තුළ 2018 දක්වා අස්වාභාවික ලිංගික ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තාවල අඩංගු වන්නේ සිදුවීම් 8ක් පමණි. ඉන් පසුව එම සිදුවීම්වල වැඩිවීමක් දක්නට නැත. ඒ අනුව පැහැදිලි වන්නේ අදාළ නීතිමය ප්‍රතිපාදන අගතියකින් තොරව උපායමාර්ගිකව සහ ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ඇති බව නොවේද? අප රටේ ස්වේච්ඡාවෙන් පෞද්ගලිකව සිදුවන ලිංගික සබඳතා පිළිබඳව මහජන කතිකාවක් හෝ විරෝධයක් දක්නට නැත. බරපතළ අශෝභන ලිංගික ක්‍රියා සමාජය තුළ ප්‍රසිද්ධියේ සිදුකරමින්, සිතා මතා එම ක්‍රියා සමාජය තුළ ප්‍රචලිත කිරීම සඳහා ව්‍යාපාරයක් දක්නට ලැබෙන්නේ ද නැත. ඊට බොහෝ දුරට හේතු වන්නේ 365 සහ 365(අ) වගන්ති මගින් සමාජයට ලබා දී ඇති ආරක්ෂාව බව ඉතා පැහැදිලිය.ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි, 1995 දී සහ 2006 දී එම වගන්ති තව දුරටත් ශක්තිමත් කිරිම සඳහා සංශෝධනය කිරීම මගින් අදාළ දඬුවම් වැඩිකිරීම සහ වින්දිතයින්ට මානසිකව ඇතිවෙන පීඩාවද සැලකිල්ලට ගැනීම සඳහා ප්‍රතිපාදන පනවනු ලබන්නේ ඒ ආකාරයට අදාළ වගන්ති මගින් සමාජයට, විශේෂයෙන්ම දරුවන්ට ලැබෙන ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් නොවේද? ලෝකයේ සෑම නීති පද්ධතියකටම සංශෝධන මගින් නව ප්‍රතිපාදන ඇතුළත් කරනු ලබන්නේ එම නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බව මෙන්ම, ඒවා දුර්වල කර නීති පද්ධතියේ සිදුරු ඇති කිරීම සඳහා නොවන බව ඔබතුමා පිළිගන්නවා ඇත.ඔබතුමාගේ බලපෑම මත ආණ්ඩුව විසින් අදාළ සංශෝධන සිදුකළහොත් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයකු විසින් වයස අවුරුදු 16ට අඩු පුද්ගලයකුට බරපතළ අශෝභන ලිංගික ක්‍රියාවක් සිදු කළහොත් එය නීත්‍යනුකූල වන අතර, නීතියට අනුව වරදක් නොවන තත්ත්වයක් ඇති වේ. ඒ මගින් ගෝලීය මට්ටමින් පවතින ‘ළමා ලිංගික අපචාර සංචාරක කර්මාන්තය’ ප්‍රවර්ධනය කළ හැකි බවට යම් පිරිස් තර්ක කළ හැකිය. නමුත් දරුවන්ට එරෙහිව දැනටමත් සිදුවන ලිංගික අපචාර ක්‍රියා මෙම නීති සංශෝධනය මගින් වර්ධනය වන බව තේරුම් ගැනීම සඳහා නීතිය පිළිබඳ උපාධියක් අවශ්‍ය නොවේ. මෙම නීති සංශෝධනය මගින් 60 ලක්ෂයක් වූ දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ. විශේෂයෙන්ම, දැනටමත් ශ්‍රී ලංකාවේ පවුල්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් දුප්පත්කමේ ගිලී සිටින තත්ත්වයක් තුළ, ජාවාරම්කරුවන්ට ළමා අපචාර වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම සදහා ඔබතුමාගේ යෝජනාව මගින් මනරම් අවස්ථාවක් ලැබෙන බව ඉතා පැහැදිලිය.ඔබතුමා විසින් ICCPR සම්මුතිය පිළිබඳ සඳහන් කර ඇති බැවින් එම සම්මුතියේ 18(3) වැනි වගන්තිය මගින් සමාජයේ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීමට අවකාශ සලසා ඇති බව ඔබතුමාට මතක් කළ යුතුය. එමෙන්ම, අදාළ සම්මුතියේ 19(3) වගන්තිය මගින් එම හේතුව මතම ප්රකාශනයේ අයිතිය සීමා කිරීමටද අවකාශය සලසා ඇත. ඒ අනුව සමාජයේ 0.1% ක වුවමනාවක් සඳහා සමස්ත සමාජයට සහ විශේෂයෙන්ම, ලක්ෂ 60ක් වූ දරුවන්ට අගතියක් සිදුවන පරිසරයක් නිර්මාණය කිරීම මානව හිමිකම් සුරැකීමක් ලෙස අර්ථ දැක්විය හැකිද? මෙම නීති සංශෝධනය සිදු කිරිමෙන් පසුව දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අශෝභන ලිංගික ක්‍රියාවලට සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා සිදුකෙරෙන ප්‍රදර්ශනාත්මක හැසිරීම්වලට එරෙහිව පියවර ගැනීම දුෂ්කර වනු ඇත. එසේම, ඊට එරෙහිව පියවර ගන්නා නිලධාරීන්ට එරෙහිව අධිකරණය යොදා ගැනීමේ අවකාශයක්ද නිර්මාණය වනු ඇත.මෙම තත්ත්වය වඩා බරපතළ වන්නේ ශ්‍රී ලංකාවේ සමාජය සංස්කෘතික වශයෙන් බිඳ වැට්ටවීම සඳහා විදේශ ආධාර මත යැපෙන සංවිධානාත්මක ක්‍රියාන්විතයක් දියත් වන බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති තත්වයක් තුළය. විශේෂයෙන්ම USAID සංවිධානය විසින් විවිධ සංවිධාන සහ පුද්ගලයන්ට සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම දිරිමත් කිරීම සඳහා අරමුදල් ලබා දී ඇති තත්වයක් පසුගිය දිනවල හෙළිදරව් වූ බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම සඳහා විදේශ ආධාර මත ක්‍රියා කරන බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි 63 දෙනෙකුගේ නාම ලේඛනයක් අප විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඔබතුමාගේ ඉල්ලීම මත එය ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව ඔබතුමා විසින් අදාළ නීතිමය සංශෝධන සිදුකිරීම සඳහා අමැතිවරයාට බලපෑම් කිරීමට පෙර පහත සඳහන් පූර්ව කියා මගින් සමාජයට වගවීම සහතික කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 01) ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාවට අදාළ “බලපෑම තක්සේරු කිරීමේ” අධ්‍යයනයක් සිදු කිරීම02) මහජන අදහස් විමසීමේ වැඩසටහන් මගින් අදහස් ලබා ගැනීම. විශේෂයෙන්ම, ළමා මනෝ වෛද්‍යවරුන්ගේ, ගුරුවරුන්ගේ, ළමා ආරක්ෂණ නිලධාරීන්ගේ සහ ආගමික නායකයින්ගේ අදහස් ලබාගැනීම සඳහා ක්‍රියා කිරීම.03) යම් ජාත්‍යන්තර බලපෑම් සහ වුවමනාවන්ට අනුව දේශීය ඒජන්තවරුන් මගින් සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම සඳහා ක්‍රියාන්විතයක් දියත් වන බවට අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සංවිධානවලින් ඊට අදාළ සාක්ෂි ලබා ගැනීම සහ ඒවා විමර්ශනයට ලක් කිරීම. අවසාන වශයෙන් කාන්තාවන් සහ මව්වරුන් ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කුමන බලපෑම් එල්ල වුවද, සමාජය බිඳවැට්ටවීමේ සහ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව අනතුරට ලක් කිරිමේ කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ ලබා නොදෙන ලෙසය.ස්තුතියිඋදේනි විජේවීර කැඳවුම්කරුකාන්තා පරපුර 0112 777 988 / 0760 975 049






















