එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කළ යෝජනාව
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක් රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ පරමාර්ථයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවට රජය කර තිබෙන නිල ප්‍රකාශය පිළිගත නොහැක්කකි.
ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අවසන් කිරීම හැම පාර්ශවයකම අපේක්ෂාව වෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තාක්ෂණ කණ්ඩායම සමග සාකච්ඡා කර “පාලන විශ්ලේෂණාත්මක ඇගයීමක් (GOVERNANCE DIAGNOSTIC ASSESSMENT)” ලබා ගැනීමට අප රජය පියවර ගනු ලැබීය. IMF සංවිධානය එවැනි වාර්තාවක් ආසියානු රටකට අදාළව ප්‍රථම වතාවට සකස් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ රජය කළ ඉල්ලීමට අනුවය.
ඒ ඇගයීම් වාර්තාවේ “ගොඩ ගැසී ඇති නඩු” අනු ශීර්ෂය යටතේ මෙසේ සඳහන් කරනු ලබයි.
- අධිකරණ පද්ධතිය මුහුණ දෙන වඩාත් බරපතල ගැටලුව වන්නේ විසඳීමට ඉතිරිව ඇති නඩු (backlog) විශාල සංඛ්‍යාවක් පැවතීමය. මෙය ව්‍යාපාරික ප්‍රජාවට ද ගැටලු ඇති කරයි. අධිකරණ පද්ධතිය තුළ පවතින අතිවිශාල නඩු ගොඩගැසීම හේතුවෙන් වත්මන් නඩු කඩිනමින් විසඳීමට බාධා ඇති වන අතර, එමගින් තවදුරටත් නඩු ගොඩ ගැසීමේ තත්ත්වය උග්‍ර කරයි. පද්ධතිය මත ඇති මේ පීඩනය අධික ප්‍රමාදයන් ඇති කරන අතර, ණය ගිවිසුම් බලාත්මක කිරීම සඳහා අධිකරණ පද්ධතිය මත යැපීමෙන් වැළකී සිටීමට පෞද්ගලික අංශය සහ බැංකු සාමාන්‍යයෙන් උත්සාහ දරයි.
- බොහෝ මූල්‍ය ආයතන පිහිටා ඇති කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ, ගිවිසුම් කඩවීම් හේතුවෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධ නඩු 45,000ක් පමණ විසඳීමට ඉතිරිව පවතී. මේ අධිකරණයේ සෑම වසරකම සාමාන්‍යයෙන් එවැනි නඩු 10,000ක් ලියාපදිංචි කෙරෙන අතර, දැනට සිටින විනිසුරුවන් 10 දෙනාගෙන් එක් අයෙකුට ඕනෑම අවස්ථාවක නඩු 2,000ක් පමණ හැසිරවීමට සිදුවී ඇත. මහාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල සමස්ත නඩු ගලායාම (case flow) පෙන්නුම් කරයි. එහි දැක්වෙන පරිදි, ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව අතිවිශාල මට්ටමක පවතින අතර, නියමිත කාල රාමුවක් තුළ අලුතින් ලැබෙන නඩු විභාග කිරීමේ හැකියාවට එය දැඩි බාධාවක් එල්ල කරයි.”
ඊට අමතරව ඇගයීම් වාර්තාවට විශේෂයෙන්ම පහත දැක්වෙන කරුණු ද ඇතුළත් කර පවතී.
- ගොඩගැසී ඇති නඩු කන්දරාව විසඳීමේ ගැටලුව, ඊටම කැපවූ විශේෂ අධිකරණයක් පිහිටුවීම මගින් විසඳා ගත හැකිය.
- බරපතල අධිකරණ පරිපාලන ක්‍රියා පටිපාටි හේතුවෙන් විනිසුරුවරුන්ගේ අධික කාර්යභාරය තවදුරටත් වැඩි වී ඇත.
- දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ වාර්ෂික කාර්යභාරය නඩු 2000ක් පමණ වන අතර, මහේස්ත්‍රාත්වරු වසරකට නඩු 5000කට අධික සංඛ්‍යාවක් හසුරුවති.
- විශේෂයෙන්ම වාණිජ මහාධිකරණය තුළ, අධිකරණ පරිපාලන කටයුතු සහ අධිකරණමය පර්යේෂණ සඳහා සහාය වීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැති වීම පැහැදිලිවම දක්නට ලැබේ.
- ශ්‍රී ලංකාව තුළ ගිවිසුමක් බලාත්මක කිරීමට සාමාන්‍යයෙන් වසර 6-7ක කාලයක් ගත වන අතර, දැඩි ප්‍රමාදය එහි සාමාන්‍ය තත්ත්වය ලෙස දැකීමට පුළුවන.
- මුදල් අයකර ගැනීම සම්බන්ධ කාරණා මහාධිකරණයේදී බහුලවම දක්නට ලැබෙන නඩු වර්ගය වෙයි.
- විකල්ප ආරවුල් විසඳීමේ (ADR) යාන්ත්‍රණවල ඇති හැකියාව වැඩිදියුණු කිරීමට අමතරව, කඩිනම් සමථයකට පත්වීම දිරිමත් කිරීම සහ නඩු විභාග කාලය අවම කිරීම සඳහා අධිකරණ ක්‍රියාපටිපාටි පුළුල් ලෙස සමාලෝචනය කර සංශෝධනය කළ යුතුය.
ඇගයීම් වාර්තාවේ කිසිඳු තැනක විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කළ යුතු යයි සඳහන් කර නැත.
ඉහත කරුණු අනුව විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කරන තර්කය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ඉතාම පැහැදිලිය. මේ පසුබිම යටතේ රජය දැන් කළ යුත්තේ කුමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණ කණ්ඩායම සකස් කළ වාර්තාව පළමුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතුය. ඊට පෙර මේ සම්බන්ධයෙන් නීතිපති, අධිකරණය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද අදහස් ගෙන නව ක්‍රමවේදය සකස් කළ හැකිය.
මේ සියලු කරුණු බලපාන්නේ පහළ උසාවිවලටය. ඉහළ උසාවිවල මේ සම්බන්ධයෙන් ගැටලු නොපවතී.
ගොඩ ගැසී තිබෙන ලක්ෂ 11 ක් පමණ වන නඩු ප්‍රමාණය ලක්ෂ 3 – 4 කින් හෝ අඩු කර ගැනීමේ ප්රමුඛ අවශ්‍යතාවය පවතී.
විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කළ යුතු බව කිසිඳු තැනක සඳහන් කර නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම කළ යුතුය.
සත්‍යය තහවුරු කිරීම සඳහා රජය විසින් ගත යුතු පියවර පැහැදිලිය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට අත්හිටුවා අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුව තුළ නව ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඉන්පසු අධිකරණ අමාත්‍යාංශය විසින් එය යෝජනා කළ යුතු අතර ඊට අපගේ පූර්ණ සහාය හිමිවනු ඇත.
එක්සත් ජාතික පක්ෂය
2026 අගෝස්තු 06























