ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යැවූ බව මල්වතු මහනාහිමියන් ප්‍රකාශ කළ බවයි.
මෙම ලිපිය රටේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙසට තමා මහානායක හිමියන්ගෙන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉල්ලා සිටි බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ත්‍රෛනිකායික මහනායක නාහිමිපාණන් වහන්සේලා විසින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් මෙහිදී අවධාරණය කළ අතර 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ලසන්ත අලගියවන්න, අජිත් මාන්නප්පෙරුම නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුණුස්, ව්‍යවසායක කියාස් එම්. නිසාර් යන මහත්වරුන් ද සහභාගී වූහ.






















