‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බවත් 30-40% අතර ප්‍රමාණයක් රටේ දුප්පතුන් වී ඇති නිසා ආර්ථිකය වර්ධනය හරියට සිදු නොවන බවත්, බඩු මිල වැඩි වීම රැකියා අහිමි වීම වැනි දේවල් නිසා පීඩනය අසහනය තුළින් ජනතාව අන්ත අසරණ ජීවිතයක් ගත කරන බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු මාලාව වත්මන් රජය ඉදිරිපත් කළත් දැන් ඒ පොරොන්දු මාලාව වෙනුවට වත්මන් රජයේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු අධිකරණයේ ස්වාධිනත්වය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය පසිදලීම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළ යුතු වුවත් වත්මන් රජය ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමම යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කිරීම බවත් යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය විනාශ කර නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කර දැමීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට සහ දහම් පාසල් ගොඩනැගිල්ලට අවශ්‍ය සෙවිලි තහඩු පූජා කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි. මෙහි දී රුපියල් ලක්ෂ 14ක් වටිනා සෙවිලි තහඩු පූජා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.
තවමත් සැබෑ සතුටකින් ජන ජීවිතය ගත කරන්න ජනතාවට නොහැකි බවත් මේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම නිසා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය නොවූවත් ගරු අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල වී ඒකාධිපතීත්වයක් ආඥාදායකත්වයක් හා ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත වන නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පෙළ ගැසිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සාර්ථකත්වය වෙනුවට රට යන්නේ අසාර්ථකත්වයට
සාර්ථකත්වය වෙනුවට අසාර්ථකත්වයක් ජනතාවට සතුටක් නිර්මාණය කරනවා වෙනුවට ජනතාවට දුක්ඛිත ජන ජීවිතයක් නිර්මාණය කරන බවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරා කියා 33%කින් විදුලි බිල අඩු වීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දිම, ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ලබා දීම සිදු නොවන බවත් වත්මන් රජයේ වගකීම වන්නේ යුතුකම් ඉටු කර පොරොන්දු වූ දේ ක්‍රියාත්මක කිරීම බවත් ජනතාව අපේක්ෂා කරන දේ සිදු කිරිම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාර පද්ධතියම අකර්මන්‍ය වෙලා
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැම්මා කියා මේ දැවෙන ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොවන බවත් පසුගිය දිනවල මිගමුව බන්ධනාගාරයේ බරපතල සිදුවීමක් සිදුවු අවස්ථාවේ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් විපක්ෂය පරාජය වී ඇමතිවරයා ජය ගත් බවත් මේ ක්‍රමවේදයේ ඇති අකාර්යක්ෂමතාවට විශ්වාසභංගය ගෙන ආවත් එය විපක්ෂය පරජය වූ බවත් ඉන් පසු මහර, වැලිකඩ, කුරුවිට, පල්ලන්සේන බන්ධනාගාරවල පවා එවැනිම ගැටලු ඇති වු බවත් දැන් මේ රජයට ඇදුමක් ඇදන් මහ පාරේ යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
‘ක්‍රමයේ වෙනසක්’ කියා බලය ගත්තම සිදු වූ ‘ක්‍රමයේ වෙනසක්’ නම් නෑ
සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනව ගෙන ආවේ ද්වේශසහගතව නොව බන්ධනාගාර පද්ධතියේ ගැටලු මතු වූ නිසා බවත් මේ ගැටලුව අද ඊයේ තිබුණ එකක් නොව කාලාන්තරයක් තිබුණ එකක් බවත් වත්මන් රජය පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිධුරයේ බලය ගත්තේ මේ ක්‍රමය වෙනස් කර ගැටලු විසදනවා කියා වුවත් අද මේ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියාට දෙනවා කිව්ව රු. 150 සහතික මිලත් අද නෑ
අද මේ රටේ ප්‍රමුඛතාව විය යුත්තේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරිම නොව විදුලි බිල, ඉන්ධන මිල, බඩු මිල අඩු කර අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කර ජනතාවට සැලසීමට බවත් දේශීය කර්මාන්ත සේම කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම රජයේ වගකීම බවත් වී ගොවියාට දෙනවා කියන රු. 150ක සහතික මිල ලබා දෙන ලෙසත් වී ගොවියාගේ වී කිලෝවක් නිෂ්පාදනයට රු 137ක් වැය වන බව වත්මන් රජයම කියා දැන් වී වලට දෙන්නේ රු. 120ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය නිසා අධිකරණය ගැන ජනතාවට අවිශ්වාසයක් ඇති වෙනවා
ආණ්ඩුවේ හොඳ දේවලට හොඳ කියනවා සේම වැරදි දෙයට විපක්ෂය විරුද්ධ වන බවත් රටේ ප්‍රශ්න තිබියදී ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම වැරදි දෙයක් බවත් වත්මන් රජය බලයට ආවේ ජනාධිපතික්‍රම වෙනස් කරනවා කියා වුවත් දැන් ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න රජයට අවශ්‍ය නොවන බවත් වත්මන් රජය මේ සිදු කරන්නේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ අවිශ්වාසය නිර්මාණය කිරිම බවත් ගරු විනිසුරුවන්ගේ චරිතයට පවා මේ නිසා විවේචන එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.






















