Saturday, August 22, 2026
HomeNEWSඑල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න

කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාසය තුළ කඩිනමින් සිදු කරන්න

  • ජනපති

පළාත් සභා සඳහා 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පළාත් මට්ටමින් මේ වන විට සංවර්ධන ව්‍යාපෘති 30,923ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

මධ්‍යම රජය සහ පළාත් සභා එක් ප්‍රතිපත්තියක් තුළ, තම විෂය සීමාවට අයත් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ජාතික ප්‍රතිපත්ති මත පිහිටා වැඩසටහන් සැලසුම් කිරීම මධ්‍යම රජයට පැවරෙන බවත්, ඒ මත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා මට්ටමින් සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙහිදී ව්‍යාපෘති ද්වීකරණය වැළැක්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ දත්ත සහ තොරතුරු කාර්යක්ෂමව හුවමාරුව, මනා සම්බන්ධීකරණකින් සිදු විය යුතු බවත් එමඟින් අනවශ්‍ය ව්‍යාපෘතිවලට සම්පත් නාස්තිවීම වැළැක්වීමට මෙන්ම අත්‍යවශ්‍ය ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම විදේශ ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති උපරිමයෙන් සාර්ථක කර ගනිමින් නිසි කලට අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දැඩි මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, නියමිත වියදම් සීමා ඇතුළත සිට කටයුතු සැලසුම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වසරේ වැඩකටයුතු නියමිත වේලාවට ආරම්භ කළ හැකි වන පරිදි නොවැම්බර් මාසය වන විට සියලුම ව්‍යාපෘතිවල සැලසුම් සකස් කර අවසන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් සභා යන ආයතන 03ක් යටතේ සිදු කෙරෙන වාර්මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික මට්ටමේ ඒකාබද්ධ සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ විවිධ බාහිර ව්‍යාපෘති යටතේ විසිරි පවතින වැව් ප්‍රතිසංස්කරණ කටයුතු එක් මධ්‍යගත ස්ථානයකට ගෙන ඒමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කෙරෙන එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා යල කන්නයෙන් පසුව මහ කන්නය ආරම්භ වීමට පෙර පවතින කෙටි කාලය තුළ කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල ධාරිතාව වැඩි කිරීම සහ ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබා දී ඇති ප්‍රතිපාදන යොදවමින් ප්‍රමුඛතාවක් සේ සලකා එම කටයුතු කඩිනම් කරන ලෙසද උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වන්නේ දරුවන්ට සිදු වන අසාධාරණය වැළැක්වීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සිසුන් 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරිමේදී එම පාසල් වෙත ගොස් එම පාසල්වල භෞතික තත්ත්වය සහ දත්ත අධ්‍යයනය කරමින් තීරණ ගැනීමේ වැදගත්කමද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට හෝ අවශ්‍ය නම් දීමනාවක් ලබා දීමට රජය සූදානම් බවද සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් මෙම සැලසුම් කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සමූපකාර යාන්ත්‍රණය සහ පළාත් සභා අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර සමූපකාර යාන්ත්‍රණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ යන්ත්‍රෝපකරණ සැපයීම ආදි කටයුතු සඳහා පළාත් සභා දායක වෙමින් සිටින බව සඳහන් කෙරිණි.

සියලු පළාත් සභාවල මතුව ඇති පොදු ගැටලුවක් වන තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර තාක්ෂණික සහායක නිලධාරීන් බඳවාගෙන ඔවුන් පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන අතරින් රුපියල් බිලියන 102ක් පළාත් සභා වෙත ලබා දී තිබෙන අතර ඊට අදාළ ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම්වරුද, මුදල් කොමිසම සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img