Thursday, October 29, 2026
HomeNEWSඥානසාර හිමියන් කළේ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු හෙළි කරන එක.. දැන් උන්වහන්සේගෙන් පළිගන්නවා-එජාප...

ඥානසාර හිමියන් කළේ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු හෙළි කරන එක.. දැන් උන්වහන්සේගෙන් පළිගන්නවා-එජාප සභාපති වජිර

Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කාන්තාවන් බලමුළු ගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන කාන්තා ප්‍රවර්ධන වැඩසටහනේ පළමු වැනි වැසටහන ඊයේ (17) උදෑසන ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැති අතර එම වැඩසටහන අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය

අද රටේම මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ ඥානසාර හිමියන්ගේ ප්‍රශ්නය. මෙතැන අපි සාකච්ඡා කරද්දිත් බොහෝ අය ඒ පිළිබඳව විමසුවා. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේත් මෙහෙම යුග ඇතැම් අවස්ථාවල පැමිණෙන බව දේශනා කර තිබෙනවා. ඒවා පාලනය කිරීම සහ ඒ ඇති වී තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම අපේ යුතුකමක්.

ඒ ප්‍රශ්න කොහොමද පාලනය කරන්නේ කියන කාරණාව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. අපේ ඡන්දදායකයෝත් හොඳින් මේ 9 වැනි වගන්තිය මතක තබා ගත යුතුයි. මේක මේ අද ඊයෙක ඇතුල් කළ වාක්‍යයක් නෙමෙයි, මෙය දීර්ඝ කාලයක් තිස්සේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එයින් 10 වැනි ව්‍යවස්ථාවේ, 14 වැනි ව්‍යවස්ථාවේ පළමු වන ව්‍යවස්ථාවේ (ඊ) ඡේදයේ සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.“ කියලා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ප්‍රශ්නය තමයි මේක වගන්තියට සීමා කරලා බැහැ, ආණ්ඩුව මහජනතාවට කියන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවාද නැත්නම් ක්‍රියාත්මක කරනවාද කියලා.

මේ 14 (ඊ) වගන්තියේ කියවෙන්නේ, සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත්, (ඊ) වගන්තියේ එකලා හෝ අන් අය හා සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ධර්මය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතිය තිබෙනවා.“ යනුවෙනි.

ජාතියක් හැටියට එකමුතුකම වැදගත්. මම දන්න විදිහට ඥානසාර ස්වාමීන් වහන්සේ ජාතිවාදියෙක් නොවෙයි, නමුත් උන්වහන්සේගේ හඬ වෙනස් සහ බලවත්. දෙවැනි එක උන්වහන්සේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් ජනතාව ඉදිරියට සහ ආණ්ඩු ඉදිරියට ගෙනා කෙනෙක්. ඕනෑම තැනක ඒ වගේ කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉන්න පුලුවන්, ඒ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු අනාවරණය කළා මිස උන්වහන්සේ කිසිම ආගමකට විරුද්ධව වැඩකටයුතු කළ කෙනෙක් නෙමෙයි. මම ඊයේ පෙරේදා අපේ රහස් පරීක්ෂකයා දන්නවා අපි උන්වහන්සේ හම්බවුණා. මම පසුගිය දවසක මෙතැන ඉන්න අපේ රාසික් හජ්ජියාර් මහත්මයා මේ ගැන දන්නවා මුස්ලිම් ආගමේ ප්‍රධානීන් පිරිසක් මුණ ගැසුනා. ඒ අයත් ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඇතැම් කාරණා පිළිබඳ වැඩි කැමැත්තක් නොදැක්වුවත් ඒ දේවල් පැහැදිලි කරාම ඒ අය පිළිගත්තා. කොහොම නමුත් මෙතැන ඉන්න බොහෝ දෙනෙක් ඇහුවේ බුදුදහමට මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ රටට මොකද වෙන්නේ කියලා බලාගත්තොත් හොඳයි.

මම පසුගිය දවසක කොළඹ තිබුණු මාධ්‍ය හමුවකදීත් මේ ගැන අදහස් පළ කළා. “සමාවදීම“ කියන්නේ මොකක්ද? සමාවදීම කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වචනයක්. මුළු ලෝකෙම මිනිස්සු කරන්නේ සමාව දෙන එක, ඉස්සෙල්ලම සමාව දෙන්නේ අම්මා තාත්තා. ඊටපස්සේ සමාව දෙන්නේ පාසලේ ගුරුවරු. ඉගෙන ගෙන සමාජයට ආපුවාම තමන් වැඩ කරන ආයතනයේ ප්‍රධානීන් සමාව දෙනවා. අපි දවසට කී පාරක් පොඩි වැරදීමක් වුණාම “සමාවෙන්න” කියලා කියනවාද. බලන්න මේ වචනේ කොච්චර වැදගත්ද කියලා. මේක මුළු ලෝකෙම භාවිතා කරන මහා ශ්‍රේෂ්ඨ වචනයක්. මේ කාරණාව තේරෙන්නේ නැත්නම් කොහොමද රටක් පාලනයක් කරන්නේ?

අපි තවදුරටත් මේ ගැන බැලුවොත් සමාජය තුළ වැරදි කරලා නඩු මාර්ගයට ගියාම මහේස්ත්‍රාත්වරු පළවෙනි වතාවට උපදෙස් දීලා සමාව දෙනවා. ඊටපස්සේ දිසා විනිසුරුවරුන් සමාව දෙනවා. ඊටපස්සේ මහාධිකරණ විනිසුරුවරුන් සමාව දෙනවා. ඊට පස්සේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සමාව දෙනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමාව දෙනවා. ඊටපස්සේ ජනාධිපතිතුමා සමාව දෙනවා.

ඉතින් අපේ ව්‍යවස්ථාවෙම තිබෙනවා මේ සමාව දීම සඳහා ජනාධිපතිවරයාට බලය ඇත්තේය, කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සමාව දුන්නාම කවුරුත් ගිහිල්ලා අහන්නේ නැහැ “ඇයි සමාව දුන්නේ” කියලා.

නමුත් මේ ව්‍යවස්ථාවේම මරණිය දණ්ඩනයට නියමු වූ තැනැත්තෙකුට යම් කිසි අවස්ථාවක ජනාධිපතිතුමා විසින් සමාව දෙනවා නම් ඊට සලකා බැලිය යුතු කාරණා කිහිපයක් සඳහන් වෙනවා.

“අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය. මොන අවස්ථාවකදීද? මරණ දණ්ඩනය නියම වූ තැනැත්තෙකුට සමාව දෙන කොට. එම වාර්තාව ජනාධිපතිවරයාට ලැබුණු විට ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු නීතිපතිවරයාගේ උපදෙස් සමඟ එය අධිකරණ විෂයභාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් ඒ නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන් පසුව අමාත්‍යවරයා විසින් සිය නිර්දේශය සමඟ එම වාර්තාව ජනාධිපතිවරයාට දිය යුත්තේය. මරණ දණ්ඩනයට නියම වී සිටින කෙනෙකුට සමාව දෙනනා නම් මෙන්න මේ ක්‍රියාපටිපාටිය අනුගමන කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කරලා තිබෙන වරද? උන්වහන්සේට මේ දඬුවම නියම කර තිබෙන්නේ උසාවියට අපහාස කිරීමේ වරදට. මේක කොහොමද එහෙනම් මේ තරම් දුර දිග ගියේ? ඒ තමයි පළිගැනීම. ඒක බොහොම නරකයි. මම දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව.

කොහොම හරි කමක් නෑ, මේ සමාවදීම අතීතයේ සිටම අපේ රට තුළ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. අපි සුද්දගේ කාලයට ගියොත් ඒ කාලයේ මේ මුහුදු කරේම පාහේ ඔවුන්ට යටත් වෙලා තිබුණා. ඒ අය ක්‍රියා කළේ බුදුදහමට විරුද්ධව. බුදුදහම වෙනුවෙන් කටයුතු කළ ඇතැම් අයට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළා. කැප්පෙටිපොළ වගේ අයගේ හිස ගසා දැමුවා. නමුත් මේ කාලයේදීත් සමාවදීම ක්‍රියාත්මක වුණා. බොහෝ දෙනෙකුට සමාවදීම යටතේ ජීවත් වීමේ අයිතිය ලැබුණා.

සුද්දාගේ පාලන කාලයෙන් පස්සේ බුදුදහම අනුව වැරදි කරන අය මරන්නේ නැහැ. වැරදි කරන අය පුනරුත්ථාපනය කරනවා මිසක් මරන්නේ නැහැ. අපි ඒකට විරුද්ධයි. වැරදි කරන අය මරනවාට විරුද්ධයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ තිබිච්ච දර්ශනය.

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 77 ජූලි මාසයේ ජයග්‍රහණය කරලා මුලින්ම කළේ කුමක්ද? එතුමා ජනාධිපති වෙන්නත් කලින් 71 කැරැල්ලට සම්බන්ධ වෙලා සිටි රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු විශාල පිරිසකට නිදහස ලබාදුන්නා.

ජේ. ආර්. මැතිවරණය දිනනකොට විජේවීර සහෝදරයා යාපනයේ සිරගෙදරකයි සිටියේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජයග්‍රහණය කරලා අපරාධ නීති විනිශ්චය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ තූලින්ම අත උස්සලා අහෝසි කරලා විජේවීර ඇතුළු සියලුම දෙනාට නිදහස දුන්නා. මේ සමාව දුන්නේ මොනව කරපු අයටද? බැංකු කඩපු අයට, මිනී මරපු අයට, පොලීසි කඩපු අයට, අධිකරණයේ නඩුව අහපු අයට – ඒ කියන්නේ ඒ දවස්වල විනිසුරුවරු මරලා නඩු ඇහුවා. මේ ආකාරයට තුන්දහස් ගණනකට සමාව දුන්නා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්නවා නගර සභාවට ගහලා, බද්දේගම පොලීසියට ගහලා, හික්කඩුව පොලීසියට ගහලා, මීටියාගොඩ පොලීසියට ගහලා, අම්බලන්ගොඩ පොලීසියට ගහලා, ඇල්පිටිය පොලීසියට ගහලා, කොස්ගොඩ පොලීසියට ගහලා, අහංගම පොලීසියට ගහලා, අක්මීමන පොලීසියට ගහලා, රත්ගම පොලීසියට ගහලා වැරදිකරුවන් වුණ අය. ඒවට ගහපු ළමයින්ට මොකද කරේ? ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සමාව දුන්නා. තමන්ගේ තිබෙන මානසික මට්ටම් අනුව මිනිස්සු උප්පත්තියෙන්ම වැරදි කරනවා, නමුත් ඔවුන් හැමදාම වැරදි කරන්නේ නෑ. ඉතින් ඒ සියල්ලන්ටම සමාව දුන්නා.

ඒ සමාව ලබාගත් විජේවීර සහෝදරයා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය මන් උපුට ගන්නේ 1977 නොවැම්බර් 03 වැනිදා ලංකාදීප පත්තරයෙන්, මේ පත්තරේ ප්‍රධාන සිරස්තලයේ: “විජේවීර ඇතුළු 136ක් නිදහස්”. මේ 136ක් කියන්නේ බරපතල වැඩ සහිතන හිරේට නියමු වූ හිරකාරයෝ.

දැන් ඉන්න මේ ළමයින්ට මේවා අමතක වෙලා නිසා මම ඒක මතක් වෙන්නත් එක්ක කියවන්නම්. “ජීවත් වීමට යළි ඉඩ ලැබෙතැයි සිතුවේ නැහැ. මොකද මේ 71 අප්‍රේල් කැරැල්ලේ විප්ලවවාදීන් අතරම මෙන්ම අපගේ දේශපාලන සගයන් අතරද ද්‍රෝහී කණ්ඩායම් සිටියා. අපේ ව්‍යාපාරය විනාශ කර දැමුවේ මේ ද්‍රෝහීන්ය.“

මම දන්නේ නැහැ ඒ කාගැනද කියන්නේ කියලා, සමහරවිට අපේ කථානායකතුමා උත්සාහ කරනවා වෙන්න පුළුවන් ඒ ද්‍රෝහීන්ට ඉදිරියේදී දඬුවම් කරන්න.

එතුමා මෙහෙමත් කියනවා “අපේ වාමාංශිකයි කියාගත් නායකයින් කළේ ප්‍රතිපත්ති විකිණීමයි. අපේ ජීවිත කාලය තුළදීම අපි එය නොකරමු යයි කී විජේවීර මහතා රාජ්‍ය සභාව හෝ රාජ්‍ය ආගම කියා දෙයක් අපේ දර්ශනය තුළ නැතැයි” යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.

අන්න වැඩේ! ඒක තමයි මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. “රාජ්‍ය ආගම කියා දෙයක් අපේ දර්ශනය තුළ නැතැයි ඒවා රැකීමට වෙනම සංවිධාන තිබේ යැයි ප්‍රකාශ කළා”. ඒ කියන්නේ සංස්කෘතියක් නැහැ, ආගමක් නැහැ, ජාතියක් නැහැ. එහෙනම් ඒක තමයි මේ දවස්වල කරන්නේ. මම නෙමෙයි මේ කියන්නේ. මේවා කියන්නේ නිදහස ලබා එළියට පැමිණි විජේවීර සහෝදරයා. එතුමාට ඒකට අයිතියක් තිබෙනවා, එතුමා එහෙම කිව්වට කමක් නැහැ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එතුමාට එහෙම අදහසක් දැරීමේ අයිතියක් තිබෙනවා. ඒක පිළිගන්නවාද නැද්ද කියලා ඔබ තීරණය කළ යුතුයි. නමුත් අපේ වර්තමාන ඡන්ද දායකයෝ මේ ගැන හොයලා බැලුවේ හෝ පිළිගත්තේ හෝ නැහැ.

ආණ්ඩුවක් තිබෙන බව ඇත්ත. නමුත් රටේ බහුතරය හිටියේ වෙනම තැනක. මේ නිසා රටේ පාලනය සුළුතරයක් තිබුණු කණ්ඩායම අතට පත්වුණා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පුන පුනා කිව්වේ අපි සියලුදෙනාම එකතු වෙමු කියලා. මොකද අපිට ජාතිය වැදගත්, ආගම වැදගත්, සංස්කෘතිය වැදගත්.

ඒ වගේම දැන සමහරු කියනවා නීතිය සමානයි කියලා, නීතිය කොහොමද සමාන වෙන්නේ? නීතිය අසමානයි. මන් ඒකටත් උදාහරණයක් කියන්නම්කෝ, යාපනයේ ඉඩම් නඩු අහන්නේ චේසවලායම් නීතිය අනුව. මෙහේ විදිහට එහේ නඩු ඇහුවොත් විශාල කලබලයක් ඇති වේවී. ඒ විතරක් නෙමෙයි දකුණේ විවාහ නීතිය උඩරට විවාහ නීතියට වඩා වෙනස්. නීතිය සංස්කෘතිය අනුව වෙනස් වෙනවා.

නීතිය සමාන කරන්න ගියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත්. අන්න එතුමාටත් වැඩේ වැරදුනා. මුස්ලිම් අයගේ මෘතදේහ ආදාහනය කළා, ඒක වැරදි වැඩක්. ඒ අයගේ සංස්කෘතියට අනුව ඒ අයිතිය දෙන්න ඕනේ. නීතිය සමානයි සංස්කෘතියට. කොහොම නමුත් අපි මේ සියලු කරුණු කාරණා අනුව උනත් ජාතියක් විදිහට අපි සමගිව ක්‍රියා කළ යුතුයි. ගාල්ලේ සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික මේ ඔක්කොම ඉන්නවා, අපි ප්‍රශ්න ඇති කරගෙන නැහැ.

මේ හැමෝටම ඒ අයගේ සංස්කෘතිය ඉවත දාලා එකම නීතියක් හැදුවොත් අන්න ලෙඩේ. ඒ නිසා නීතිය විවිධයි, නීතිය වෙනස්. සංස්කෘතියට අනුව ඒවා සකස් කරලා තිබෙන්නේ.

1971 අප්‍රේල් 5 වෙනිදා, ඇමෙරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ගහපු අයගේ නම් මම දන්නවා වුනත් මම ඒ අය ගැන මෙතැන කියන්න යන්නේ නැහැ. මොකද ඇතැම් අය තවමත් ජීවතුන් අතර ඉන්න නිසා.

කොහොම හරි මේ ප්‍රහාරය ආරංචි වුණ ගමන් මෙතැනට යනවා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා. මේ කැරලිකාර කණ්ඩායම එතුමට පිහියෙන් අනිනවා. නමුත් ඒ අයටත් පසු කාලීනව සමාව දුන්නා. ඒ සමාව ලැබු අයෙක් පොතක් පවා ලියා තිබෙනවා. ඔහු දැන් ආගමික නායකයෙක්. ඔහු මට කියලා තිබෙනවා ඒ සිදුවීම් සම්බන්ධයෙන් අද කම්පා වෙනවා කියලා. අද ඔහු සමාජයේ හොඳ පුරවැසියෙක්.

දැන් මෙතැන කවුද ඉන්නේ වැරදි නොකරපු අය? කවුරුවත් නැහැ. මිනිස්සු ලෝකයේ උපතින්ම කරන්නේ වැරදි. වැරදි කියන ඒවා හදාගෙන ඉදිරියට යන ක්‍රමයක් තියෙන්න ඕනේ. වැරදි නවත්තන්න බැහැ, කවුරුහරි කියනවා නම් වැරදි නවත්තනවා කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 159ත් හිරේ දාන්න වෙනවා. අපි ඒක කළොත් හොඳ නැහැ. ඒගොල්ලෝ නොදැනුවත් කමට වැරදි කරනවා, ඒවට සමාව දෙන්න ඕනේ.

දැන් අපෙත් සමහර අය කියනවා එයාලා කරන වැරදිවලට එයාලටත් වැඩේ දෙන්නම් කියනවා. ඒ වැඩේ කරන්න හොඳ නැහැ. ඒ ළමයි නොදැනුවත්කමට වැරදි කරනවා. ඒ වැරදි පෙන්වලා දීලා අපි ඒ අයට සමාව දිය යුතුයි. ඒ තමයි අපේ පරිණතකම.

මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා ඉගෙන ගත්තොත් හොඳයි සමාව දෙන හැටි. මේ පුංචි ප්‍රශ්නයක් නිසා ජාතිවාදය වපුරන එක හොඳ නැහැ. දැන් ආණ්ඩුව ජාතිවාදය වපුරනවා, ඒක ඉතාම නරකයි. රජයක් සංවේදී වෙන්න ඕනේ, අසංවේදී වෙන්න බැහැ.

මේ සමාවදීම ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකයේත් සමාවදීම ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ ජෝ බයිඩන් මහත්තයා ජනාධිපති වෙලා මුලින්ම කළේ කුමක්ද? සිරගත වෙලා සිටි එතුමාගෙ පුතාට සමාව ලබාදුන්නා. අපේ රටේ එහෙම වුණානම් මිනිස්සු පෙළපාලි යාවි ඊට විරුද්ධව. ජනාධිපති වුණත් එතුමත් පියෙක්. මට මතකයි නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ඉන්න කාලයෙත් මේ විදිහට විශාල පිරිසකට සමාව දුන්නා.  

ඉතින් මේ සමාව කියන වචනය අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදනවා නම් ඒක රටට ඉතාමත් භයානකයි. අපි මේවට අහුවෙන්න හොඳ නැහැ, අපි ජාතීන් අතර සමගිය තියාගන්න ඕනේ.

කලින් කිව්වා වගේ බුදුදහම අනුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුත්තේ. බලන්නකෝ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසන් කරන්නේ කොහොමද කියලා?

“දේවෝ වස්සතු කාලේන – සබ්බ සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ” මොකද්ද මේකේ තේරුම?

නිසි කලට වැසි වසීවා, කෙත් වතු සාර වේවා, ජනතාව සතුටට පත් වේවා, රජු – රජු ධර්මානුකූලව රට පාලනය කරත්වා! මේක ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ධර්මයෙන් පිට ජාතිවාදය පැතිරවීම ඉතාම භයානක ක්‍රියාවලියක් කියලා අපේ ඡන්දදායකයෝ මතක තියාගන්න ඕන.

සියලු ආගම් ආරක්ෂා කිරීමට බුදුදහම බැඳිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ කිසිම ආගමකට හිරිහැර කරන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරනවා නම්, මම හිතන්නේ ගොඩක් ලංකාවේ ප්‍රශ්න විසඳෙනවා.

දැන් රටේ තත්ත්වය ඉතාම අසංවේදී තැනකට තල්ලු වෙමින් තියෙනවා. අනිත් එක මේකේ තියෙනවා තවත් වැදගත් දෙයක්, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පිටුවේ. ඒකේ සඳහන් වෙනවා වැදගත් කාරණයක්, මේ තියෙන්නේ අධිකරණයයි ශ්‍රේෂ්ඨාධිකරණයයි පාලනය වෙන්න ඕන විදිහ. ඒකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා, වෙන ආගම් ගැන කියලා නැහැ, ඒක මතක තියාගන්න ඕනේ අපේ ශ්‍රී ලාංකිකයෝ.

“භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබඳ සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාරස්ථානවල නඩත්තුව සම්බන්ධයෙන් කතාවක් මෙහි සඳහන් වෙලා තිබෙනවා.

“මේ ව්‍යවස්ථාවේ භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානය යන යෙදුම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වු අවස්ථාවේදී බෞද්ධ විහාරගම් පණතේ, දේවාලගම් පණතේ යෙදුම්වල තිබූ අර්ථය ඇත්තේය”.

මේ තිබෙන්නේ 1931 විහාර දේවාලගම් ආඥා පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වී තිබුණත් නැතත් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පණත අනුව තමයි ඉතුරු කටයුතු සිදුවිය යුත්තේ. ඒකේ කියලා තියෙනවා නීති සම්පාදනය කරගන්න කියලා, නමුත් තවම නීති සම්පාදනය කරලා නැහැ.

මට පේන්නේ මේ වැඩේ දී රජය ජාතීන් අතර අසමගියක් ඇතිකිරීමට උත්සාහ ගන්නවා. මේක ඉතාම නරකයි. මම විශ්වාස කරනවා ඒගොල්ලන්ට නැණ නුවණ පහළ වේවායි කියලා! වෙන කියන්න දෙයක් නැහැ. අපි අසමගි නොවී ඉඳිමු. ඒගොල්ලෝ බලයි අපිව අසමගි කරන්න, නමුත් අපි අසමගි නොවී සිටිමු.

මෙහිදී එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩා මහත්මිය, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඉන්දි අකුරුගොඩ යන මහත්මීන් අදහස් දැක්වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

2026 ඔක්තෝබර් 18

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img