Tuesday, October 27, 2026
HomeNEWSමාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්

රජය බලාපොරොත්තු වෙනවා ත්‍රස්තවාදයට විරෝධී පනතක් ඉතාමත් ඉක්මනින් නීතිගත කිරීමට. මෙය සමාජයේ සියලු දෙනාටම බලපාන පනතක්. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට, නිවේදකයන්ට සහ මාධ්‍ය ආයතනවලට මෙහි විපාක භයානක විය හැකියි. මක් නිසාද යත් මේ පනතින් පසුව ලංකාවේ මාධ්‍ය නිදහස භුක්ති විඳිමට නොහැකි වනු ඇත.

ත්‍රස්ත විරෝධී පනතක් අපේ නීතියට ප්‍රථම වතාවට ඇතුළු වුණේ 1979 වර්ෂයේදීයි. මෙය තාවකාලික පනතක් හැටියට එදා බලාපොරොත්තු වුණේ මාස 6ක කාලයක ක්‍රියාත්මක කිරීමට පමණයි. නමුත් මෙය අවුරුදු 47ක් ක්‍රියාත්මක වුණා. පසුව 2025 දෙසැම්බර් මාසයේ අධිකරණ අමාත්‍යාංශයෙන් අලුත් පනතක් ඉදිරිපත් කළා. දස අතින් ඒ පනතට විවේචන ඉදිරිපත් වුණා. පසුව එවකට තිබුණු ආණ්ඩුවම පිළිගත්තා මේ යෝජිත පනත දෝෂ සහිතයි. මේ විදිහට මෙය නීතිගත කරන්න බැහැ. එය පිළිඅරගෙන රජය ස්වේච්ඡාවෙන්ම ඒ පනත අකුලා ගත්තා.

අකුලාගෙන කිව්වා මීට වඩා හොඳ පනතක් අපි යථා කාලයේ ඉදිරිපත් කරනවා කියලා. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ යෝජිත පනත. හැබැයි ඉස්සෙල්ලා තිබුණු කිසිම පනතකට වඩා, සමහර අයගේ මේක අතිශයින් විනාශකාරී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිෂේධ කරන පනතක් හැටියට අපි බොහෝම පැහැදිලිව දකිනවා.

මෙහි මූලික දෝෂ රාශියක් ගැබ්ව තිබෙනවා. ප්‍රථම දුර්වලතාවය තමයි ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය. ත්‍රස්තවාදයට විරුද්ධව පනත් අවශ්‍යයි. ඒක අපි සියලුදෙනාම පිළිගන්නවා. නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කිරීමේදී මේ පනත අපි සියලු දෙනාටම අතිවිශාල අවධානාමකට ලක් කර තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ මේ පනත අනුව රජයට යම්කිසි දෙයක් කිරීමට බල කරනවා නම්, එහෙමත් නැත්නම් යම්කිසි දෙයක් කිරීමෙන් වැළකී සිටීමට රජයට බල කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක නිරත වෙනවා නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරීමට මේ පනත යටතේ පුළුවන් වෙනවා.

ඒ කියන්නේ රජයට බලපෑමක් කිරීම, මේක ගන්නවට අපි විරුද්ධයි, මේක කරන්න එපා, මේක කිරීමෙන් වැළකී සිටින්න, එහෙමත් නැත්නම් මේක හොඳ දෙයක්, මේක කරන්න. ඒ විදිහේ බලපෑමක් රජයට ඇති කිරීම ත්‍රස්තවාදී ක්‍රියාගණයට අයත් වන දෙයක් හැටියටයි මේ පනත යටතේ නිර්වචනය වෙලා තිබෙන්නේ.

ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ ඒ විදියේ පුළුල් තේරුමක් තියෙන දෙයක් නම්, එවැනි දේකට සහයෝගය දීම හෝ අනුබල දීම ඒ විදිහටම සාපරාධී ක්‍රියාවක්. මේකට මොකක්ද දඬුවම? අවුරුදු 15ක් සිරගත කරනවා, නැත්නම් ලක්ෂ 155ක දඩයකට යටත් කරනවා.

දැන් මේ විදියට නිර්වචනය කරනවා නම්, කවුරු හරි කෙනෙක් පත්‍රිකාවක් දෙනවා. ඒ පත්‍රිකාව කියෙව්වම කවුහරු හරි පෙළඹෙනවා රැස්වීමකට යන්න. ඒ රැස්වීමේදී කතාවකට සවන් දෙනවා. රජය තර්ක කරනවා ඒ කතාවේ ත්‍රස්තවාදී අදහසක් ගැබ්වෙලා තිබෙනවා කියලා. එතකොට රජයේ අදහස අනුව ත්‍රස්තවාදයට සම්බන්ධ පත්‍රිකාවක් කියවීමට හෝ දේශනයකට සවන් දීමට හෝ ප්‍රවේශයක් ඇති වෙනවා. තමන් බෙදන පත්‍රිකාවකින්, එතකොට ඒ පත්‍රිකාව බෙදන පුද්ගලයා මේ පනත යටතේ අර උග්‍ර දඬුවම් වලට යටත් වෙනවා.

මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් බලනකොට මේකේ තිබෙන ප්‍රධාන අවධානම තමයි, යම්කිසි දෙයක් වාර්තා කිරීම හා යම්කිසි දේකට අනුබල දීම අතර වෙනස මේ පනත පිළිගන්නේ නැහැ. මාධ්‍යවේදීන්ගේ කාර්යය තමයි වාර්තා කිරීම. ඒක හැමදාම මාධ්‍යවේදීන් කරන දෙයක්. හැබැයි වාර්තා කිරීම කියන්නේ අනුබල දීමක් නොවෙයි. යම්කිසි උද්ඝෝෂණයක් වාර්තා කිරීම කියන්නේ ඒ උද්ඝෝෂණයට කිසිසේත් අනුබල දීමක් නොවෙයි. හැබැයි ඒ දෙක අතර විභේදනය මෙතැන අතුරුදන් කරනවා. යම්කිසි දෙයක් වාර්තා කිරීම තුළින් ව්‍යංගයෙන් ඒකට අනුබල දීමක් හැටියට මේ පනත යටතේ සැලකීමේ හැකියාව තිබෙනවා.

මේ පනතේ ගැබ්වෙලා තිබෙන වගන්ති මහජන දේපල සම්බන්ධයෙන් ඉතාමත් පුළුල්. ලෝකයේ කොහෙවත් ඒ විදිහට ප්‍රතිත්‍රස්ත පනතක වගන්තිය සකස් වෙලා නැහැ. මොනවාද මෙහි ඡේදනයට හසුවන දේවල්? සංස්කෘතික දේවල්, වාතාවරණය, විදුලි බල පද්ධතිය, මහජන සෞඛ්‍යය. අතිශයින් පුළුල් පරාසයක් මීට ගැබ් වෙනවා. නමුත් ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන ප්‍රතිපත්ති හා අදහස් අනුව මේ සියලු දේපල ත්‍රස්ත විරෝධී පනතක ක්ෂේත්‍රයට හසුවන්නේ තීරණාත්මක කොන්දේසියකට යටත්වයි. ඒ කොන්දේසිය තමයි ජීවිතයට දැඩි අවදානමක් තිබීම.

මනුශ්‍ය ජීවිතයට වැඩි අවධානයක් තිබෙනවා. එහෙම නැත්නම් මහා පරිමාණ ආර්ථික හානි සිදුවීමේ අපේක්ෂාවක් තියෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් තියෙන්න ඕනේ. දැන් අන්න ඒ සීමාව මෙතන කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඒ සීමාව නොමැති නිසා, මේක ඉතාමත් පුළුල් පිළිගන්න වැඩි තරමට පුළුල් දෙයක්.

දැන් රටේ ගෑස් ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. ගල් අඟුරු වංචාව. දැන් ඇමතිවරයාම පිළිඅරන් තිබෙනවා ඒ ගල් අඟුරු වංචාවෙන් අපේ රටට, අපේ ජනතාවට සිදුවුණු අලාභය රුපියල් කෝටි 1576 ක් කියලා. අපි සියලු දෙනාටම ඒ මුදල ගෙවන්න සිදුව තිබෙනවා. බදු හා නොයෙක් ක්‍රම මගින්.

වරායෙන් කන්ටේනර් 340 ක් කිසිම පරීක්ෂාවකින් තොරව අතුරුදහන් වුණා. මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2.5 ක් අතුරුදහන් වුණා. කවුද මේවට ගෙවන්නේ? වෙන කවුරුත් නොවෙයි, මේ රටේ ජනතාව. මේ පිළිබඳ සත්‍යය කොහොමද හෙළිදරව් වුණේ? ලේසියෙන් නොවෙයි, ඉතාමත් අමාරුවෙන් නොයෙක් ගවේෂණ හරහා. මේ පිළිබඳ සත්‍යය අපේ සමාජයට ඉදිරිපත් කළේ වෙන කවුරුත් නොවෙයි, මාධ්‍යවේදීන් තමයි ඒ කර්තව්‍යය අපේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළේ.

මාධ්‍යවේදියාගේ ගවේෂණ කටයුතු, පර්යේෂණ, විශ්ලේෂණ, සොයා බැලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සියල්ලක් පිළිබඳ සත්‍යය අපට දැනගැනීමට පුළුවන් වුණේ. දැන් මාධ්‍යවේදියා මේක කොහොමද කරන්නේ? තමන් අඳුනන, තමන්ට හිතවත් බොහෝ දෙනාට කතා කරනවා, ඒ අයගෙන් ප්‍රශ්න අහනවා. එක ප්‍රශ්නයක් ඇහුවාම ඒකෙන් ප්‍රවේශය සකස් වෙනවා, ඊට වඩා විස්තර සහිත තොරතුරු ලබා ගැනීමට.

දැන් මොකද වෙන්නේ? මේ එකක්වත් කරන්න බැරි තත්ත්වයක් මේ පනත හරහා ඇති වෙනවා. මේ පනත යටතේ මාධ්‍යවේයාගෙන් අහන්න පුලුවන් කොහෙන්ද මේ තොරතුරු ලැබුණේ? කවුද ඔබතුමාට මේක කිව්වේ? එතකොට නම, ගම, සියලුම දේවල් සම්පූර්ණ වශයෙන් හෙළිදරව් කිරීමේ වගකීමකට ඒ මාධ්‍යවේදියා බැඳී සිටිනවා. මාධ්‍යවේදියා කියන්නේ මෙන්න, අහවලා තමයි මට මේ තොරතුරු දුන්නේ. අහවලාගෙන් තමයි මේක දැනගැනීමට මට පුළුවන් වුණේ. ඒක හෙළිදරව් කරන්න. හෙළිදරව් නොකළොත් ඒක බරපතළ අපරාධයක් වෙනවා. එහෙනම් මේ කිසිවක් ගැන සමාජයට තොරතුරු මින් පසුව ලබා ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.

මාධ්‍යවේදියා කිව්වාම අහවලාගෙන් කියලා මේ තොරතුරු ලැබුණේ, ආයෙ කවදාක්වත් ඒ පුද්ගලයන්ගෙන් කිසිම දෙයක්, කිසිම තොරතුරක් ලබා ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ ඒ මූලාශ්‍ර සියල්ල නිශ්ශබ්ද වෙනවා. මාධ්‍යවේදියාට සමාජය වෙනුවෙන් තමන්ගේ කර්තව්‍යය නිසි පරිදි කිරීම සඳහා අවශ්‍ය වාතාවරණයේ පහසුකම් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමක් තමයි මේ පනතේ වගන්තිවල සෘජු ප්‍රතිඵලය වෙන්නේ.

ඒ විතරක් නොවෙයි මේ පනත හරහා ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් ඕනෑම ස්ථානයක් තහනම් ස්ථානයක් හැටියට ප්‍රකාශ කරන්න. මේ ස්ථානය තහනම් ස්ථානයක්. කවුද ඒ නියෝගය දෙන්නේ? ආරක්ෂක ලේකම්වරයා. ආරක්ෂක ලේකම්වරයා කියන්නේ විධායකයේ ප්‍රබල නිලධාරියෙක්. ඉන් පසුව කිසිම මාධ්‍යවේදීයෙකුට, අපි කිසිම කෙනෙකුට, සමාජයේ කිසිම කෙනෙකුට ඒ ස්ථානයට ඇතුළුවෙන්න බැහැ, පින්තූර ගන්න බැහැ, කිසිම සටහනක් හදන්න බැහැ, කිසිවක් කරන්න බැහැ. අඩුම තරමේ ඒ පැත්ත පළාතේ යන්නවත් බැහැ.

ඉතින් මෙය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? එහෙම නොමැතිනම් පොලිස් රාජ්‍යයක්ද? ඒකාධිපති රාජ්‍යයක්ද?

ඒ කියන්නේ ආරක්ෂක ලේකම්ගේ අභිමතය පරිදි, උසාවියක් නැහැ. එහෙම පියවරක් සාධාරණයි කියලා මේ රටේ කිසිම උසාවියක් තීරණය කරලා නැහැ. හිතුමතේ ආරක්ෂක ලේකම්වරයා අදහසක් ඇති කරගන්නවා, ඊට පස්සේ ඒක නියෝගයකට පරිවර්තනය කරනවා, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි කිසිම කෙනෙක්ට ඒ ස්ථානයට ඇතුළුවෙන්න බැහැ. එතන යම්කිසි සංවේදී දෙයක් සිදුවෙනවා. ජනතාවගේ අයිතිවාසිකම්වලට කෙලින්ම සම්බන්ධ දෙයක් එතැන සිදුවෙනවා. ඒ පිළිබඳ කිසිම තොරතුරක් දැනගැනීමට අපේ රටේ ජනතාවට හැකියාව නැහැ. මොකද ඒ ස්ථානයට ඇතුළු වීමට කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ.

ඒ විතරක් නෙමෙයි මාස තුනකට ගමනාගමන ප්‍රවාහන කටයුතු මේ පනත අනුව නවත්වන්න පුළුවන්. පණිවුඩ යැවීම, ප්‍රවෘත්ති පළ කිරීම නවත්වන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ඉතාමත් භයානක වගන්තියක් තමයි, සාමාන්‍යයෙන් පොලීසිය භාවිතා කරන බලතල හමුදාවට ලබා දී තිබෙනවා. හමුදාවට හා දෙවන ආරක්ෂක නිලධාරීන්ට.

සාමාන්‍යයෙන් කලහකාරී ලොකු ප්‍රශ්නයක් සමාජයේ තිබෙන අවස්ථාවලදී මේ බලතල පාවිච්චි කරන්නේ පොලීසිය. අද මේ රටේ හදිසි නීතියක් නැහැ. කලබලයක් නැහැ. සන්සුන් තත්ත්වයක් තිබෙන්නේ. එහෙත් ඒ සන්සුන්තාවය තුළ හමුදාව බලතල භාවිතා කරනවා, ඕනෑම කෙනෙක් නැවැත්වීමට, ප්‍රශ්න කිරීමට, සෝදිසි කිරීමට ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට. වරෙන්තුවක් අවශ්‍ය නැහැ.

හමුදාව ඒ බලතල භාවිතා කිරීමට ඉස්සරවෙලා උසාවියකට ගිහිල්ලා, විනිශ්චයකාරවරයෙකු සෑහීමට පත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ, අධිකරණයට කිසිම කාර්යභාරයක් නැහැ. සාධාරණ සැකය පදනම් කරගෙන විධායකයේ සැකයක් තිබෙනවා නම් හමුදාවලත් මේ සියල්ලක්ම කිරීමට අවශ්‍ය බලතල පැවරෙනවා මේ භයංකාරී පනත තුලින්.

තවත් විදිහකට, පොලිස්පතිතුමාට හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පුළුවන් ආරක්ෂක ලේකම්තුමාට ඉල්ලීමක් කරන්න. ඕනෑම පුද්ගලයෙක්ට, කවුරු වුණත් කමක් නැහැ, ඕනෑම පුද්ගලයෙක් සැකපිට සාක්ෂි පදනම් කරගෙන නොවෙයි සැකපිට මාස දෙකකට අත්අඩංගුවට ගන්න. කිසිම හවුහරණයක් රැකවරණයක් නොමැතිව අත්අඩංගුවට ගන්න. ඊට පසුව මහා අධිකරණයට ගිහිල්ලා ඒක අවුරුද්දක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්. නමුත් අර පළවෙනි මාස දෙකේ කිසිම උසාවියකට යන්න බැහැ. උසාවියකින් කිසිම ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. පොලිස්පතිතුමාගේ ඉල්ලීම පරිදි ආරක්ෂක ලේකම්වරයා දෙන නියෝගයක් අනුව ඕනෑම කෙනෙක් මේ රටේ මාස දෙකක් හිර කර තබන්න පුළුවන්, සාක්ෂි පදනම් කරගෙන නොවෙයි.

මේ පනත සකස් කිරීමේදී විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ඒ කමිටුව නිර්දේශ කළ සියල්ලම සැලකීමට භාජනය නොකර ඒවා හමස් පෙට්ටියට දාලා ප්‍රතික්ෂේප කරලා කැබිනට් මණ්ඩලය තමයි මේ අති භයානක වගන්තිය නිර්මාණය කළේ. ඒ වෙලාවේ කිසිම වගකීමක් බාර ගන්නේ නැහැ ඒ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුව. ඒ වුණාට මේ කර්තව්‍යය බාර දුන්නා. ඒගොල්ලන්ගේ දැනුම අත්දැකීම් අවශ්‍ය නිසා. ඒගොල්ලන් සවිස්තර වාර්තා ඉදිරිපත් කළා. ඒ වාර්තා කිසිම තැකීමකට භාජනය කරන්නේ නොමැතිව කැබිනට් මණ්ඩලය හුදෙක් දේශපාලන සාධක පදනම් කරගෙන මේ භයංකාර වගන්තිය සකස් කරගෙන තියෙනවා.

එතකොට ඇස් බැන්ඳුම් වැඩක් හැටියට අධීක්ෂණ කමිටුවක් පත් කර තියෙනවා. යම්කිසි පුද්ගලයෙකු සිරගත කළාම ඒ සිරගත කිරීම සාධාරණද නැද්ද කියලා සළාකා බැලීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කරලා තිබෙනවා. මොකක්ද ඒකේ වටිනාකම? කිසිම වටිනාකමක් නැහැ. මෙය රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයන්න හදන රජයේ මූලික සැලැස්මක් බව මා අවධාරණය කර සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා

කිසිඳු ශක්තිමත් ආණ්ඩුවක්, තමන්ට ඡන්දය දීපු ජනතාව ගැන විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, ඒ ජනතාව තමන් රකී කියන හැඟීම තියෙන ආණ්ඩුවක් නව නීති රීති ගෙනල්ලා තමන්ගේ පාලන බලය ශක්තිමත් කරගන්න, එහෙම නැත්නම් ඒකාධිපති පාලනයක් කරා රට ගෙනියන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතාව තමන් එක්ක නැහැ කියන අවිශ්වාසය ඇතිවුණොත්, එහෙම නැතිනම් තමන්ගේ බලය ගිලිහී යයි කියන බිය ඇති වුණොත් තමයි මෙවැනි භයානක අණපනත් ගෙනැවිත් තමන්ගේ බලය අයුතු ලෙස රැකගන්න උත්සාහ කරන්නේ.

දැන් ඉතාම පැහැදිලියි ජනාධිපතිවරයත්, ආණ්ඩුවත් භීතියට පත්වෙලා තිබෙනවා. හේතුව තමයි වසර දෙකක් ඉක්මවා ගිහිල්ලත් ජනතාවට දෙනවා යයි කියූ කිසිම සහනයක් ලබාදෙන්න හෝ ආර්ථික වර්ධනයක් රටට ලබාගන්න හෝ ආණ්ඩුවට නොහැකි වී තිබීමයි.

බලයට එන්න කියපුවට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල් තමයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ. ජනතාවට අසීමිත ලෙස බදුපිට බදු පනවල තිබෙනවා, ඒ වගේම ජනතාව මත සම්පූර්ණම බර පටවලා තවත් සුඛෝපභෝගී වාහන 1750ක් තමන්ගේ පක්ෂ කාඩර්වරුන්ට ලබාදීමට සඳහා ආනයනය කරන්න සූදානම් වෙනවා. මේ එක වාහනයක් සඳහා ලංකා රුපියල් ලක්ෂ 300 ක් වියදම් වෙනවා. මේ අතරේ අපිට පේනවා රටට එන්න තිබුණු ආයෝජන ආයෝජකයින් විසින් නැවත හකුලාගෙන යන බව. පසුගිය අගෝස්තු මාසයේ අග වනවිට කොටස් වෙළඳපොළින් විතරක් රුපියල් බිලියන 70ක විදේශ ආයෝජන නැවත ගිහින් තිබෙනවා.

ඒ නිසා ඉතාම පැහැදිලියි ආණ්ඩුව පත්වෙලා තිබෙන තත්ත්වය. විශේෂයෙන්ම කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වගේම රජයේ කැබිනට් ප්‍රකාශක, ඔහු අඩු තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදමවත් ආර්ටීඅයි (RTI) එක යටතේ ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමාත්‍යාංශය 25කින් 10ක් මේ විදිහට ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ආණ්ඩුව එවැනි වංචනික ආකාරයට කටයුතු කරන තත්ත්වයක් තමයි අපිට පැහැදිලිවහ පෙනෙන්නට තිබෙන්නේ. අපේ ආණ්ඩු කාලවල අපට තිබුණ ප්‍රශ්නය තමයි වියදම් කරන්න සල්ලි නැතිවීම. නමුත් මේ ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය තමයි තිබෙන සල්ලි වියදම් කරගන්න නොහැකි වීම.

මේ නොහැකියාව නිසා ඇතිවන තත්ත්වයත් එක්ක තවදුරටත් ලබන අවුරුද්දටත් අලුත් බලාපොරොත්තු හදමින්, උදාහරණයක් විදිහට අපි වැවු මෙච්චර හදනවා, ගෙවල් මෙච්චර හදනවා, විශ්වවිද්‍යාල අච්චර හදනවා ආදී වශයෙන් පොරොන්දුදීම තමයි ජනාධිපතිවරයා කරන්නේ.

මේ පනත්වලින් කරන්නේ කුමක්ද? පැලවත්තයි, පොලිස් මූලස්ථානයයි, අකුරේගොඩයි, එකතු කර මිලිටරි රාජ්‍යයක් එහෙම නැතිනම් අර්ධ පොලිස් රාජ්‍යයක් පැලවත්තේ සැඟව සිටින ශ්‍රී ලංකාවේ බෝල්ෂෙවික්, ලෙනින් පක්ෂය නැමැති නම් නොදන්නා පාතාල පක්ෂයක කල්ලියක් අතට ගෙන පාලනය කිරීම තමයි මොවුන් මේ සිදු කරමින් සිටින්නේ.

වර්ෂ 1987-1989 කාලේ සැඟව සිට තුන්ඩුවෙන් කළ දේවල් දැන් කෙලින්ම නීති රීති මගින්ම සිදු කර ගැනීමේ උත්සාහයක තමයි මේ ආණ්ඩුව නිරතව සිටින්නේ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හිටපු ආණ්ඩු විවේචනය කරමින් ඒ ආණ්ඩුවල මර්ධනකාරී නීති පෙන්වමින් නිදහස පිළිබඳව අදහස් විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස හැටියෙම නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළින්ම ලියා තිබුණේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය ඇතුළු සියලුම අන පනත් වහාම අහෝසිකර දමනවා”. “ඒ වගේම මර්ධනකාරී හමුදා පොලිසිය විසිරුවා හරිනවා.” යනුවෙනි. නමුත් අද මේ සියල්ලම පල්ටපල් විහිළු බවට පත් වෙලා තිබෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට අමතරව මාලිමාව නමින් වාමාංශික අදහස් දරණ, ලිබරල් අදහස් දරණ නොයෙක් පිරිස් එකතු වෙලා මේ මාලිමාව ගොඩනගලා ඒ මාලිමාවේ වැදගත්ම පොරොන්දුවක් හැටියට දුන්නා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්ධන පනත් ඉවත් කර ජනතාවගේ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරන බව.

දැන් ඒ අය වෙනුවෙන් ඇප වෙච්ච වාමාංශිකයෝ මොකද කියන්නේ? ඒ අය වෙනුවෙන් නිදහස වෙනුවෙන් ඇප වෙච්ච ලිබරල්වාදීන් මොකද කියන්නේ? අපිට ඇත්තටම කියන්න තිබෙන්නේ ඒ සියලු දෙනාවම ඉතාම භයානක රැවටීමකට අනුර කුමාර දිසානායක මහතා පත් කර තිබෙන බවයි.

අද ලංකාවේ නැවත වරක් ගෑස් හිඟයක් මතුවෙලා. මේ ආණ්ඩුව බලයට එන්න පෙර 2022 වසරේ ගෑස් හිඟයක් ඇති වුණු වෙලාවේ විවිධ කතා ප්‍රකාශ කළා. ගෑස් ටැංකි උස්සගෙන තැන් තැන්වලට ගියා, ගෑස් පෝලිම්වල උද්ඝෝෂණ ඇති කළා. මම එකක් කියන්නම්, ඒ ගෑස් හිඟය ඇති කිරීම සඳහා ඝෝඨාබය රාජපක්ෂට ලණු දුන් ව්‍යාපාරිකයා අද ඉන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා එක්ක. ඔහුට එරෙහිව අල්ලස් කොමිසමේ තිබෙන පෙත්සම යට කරලා තිබෙන්නේ. ඔය අනම් මනම් කතා වැඩක් නැහැ, පුළුවන් නම් ඔහුට එරෙහිව අල්ලස් කොමිසමේ තිබෙන පෙත්සම එළියට ගන්න කියලා අපි අභියෝග කරනවා. අද ඔහුගෙන් ලැබෙන මූල්‍ය අනුග්‍රහයන් යැපෙන විශාල පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. අනාගතයේදී මම බලාපොරොත්තු වෙනවා ඒ අයව හෙළිදරව් කරන්න.

අද මොකද වෙලා තිබෙන්නේ? ප්‍රශ්න දෙකක් තිබෙනවා. අපට ගෑස් සැපයුම් වර්ග දෙකකින් ගෙනෙනවා, එකක් ලාෆ් ආයතනයෙන්, අනික ලිට්රෝ ආයතනයෙන්. ලිට්රෝ ආයතනයට තමයි ප්‍රධාන සැපයුම තිබෙන්නේ. ලාෆ් ආයතනය දේශීය ආයතනයක් හැටියට ගොඩනැගුණු එක ගැන අපි හැමෝම ආඩම්බර වුණා. මෑතකදී එය අනුර කුමාර දිසානායක මහත්මාගේ හිතවත්ම ප්‍රබලම ව්‍යාපාරිකයෙක් මිලදී ගත්තා.

දැන් මොකද වෙලා තියෙන්නේ? මේ සමාගම ඉරානයෙන් ගෑස් ගත්තයි කියලා මේ සමාගමට ඇමරිකාවෙන් සම්බන්ධක පනවලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ රූකඩයක් හැටියට ඉන්න අනුර කුමාර දිසානායක මේ වෙනුවෙන් ගත්ත පියවර කුමක්ද?

ඒ සමාගම එතැනින් ගලවා ගැනීම සඳහා ට්‍රම්ප්ගේ සපත්තු ලෙවකන අනුර කුමාරට අද වෙනකන් කිසිම ආකාරයක උත්සාහයක් අරන් නැහැ.

ඊළඟට ලිට්රෝ සමාගම. ට්‍රම්ප් ජනාධිපතිතුමා කිව්වා කාගෙන්වත් ගෑස් ගන්න අවශ්‍ය නැහැ, අපෙන් ගෑස් ගන්න කියලා. ඒ අනුව මේ අය ජියෝ කියන ඇමරිකා එක්සත් ජනපදයේ ගෑස් සමාගමකින් ගෑස් ගත්තා.

ඒ සමාගමට දුන් ටෙන්ඩරේ කොන්දේසියක් තිබුණා අපට කුඩා නැව් හතරකින් ගෑස් සපයන්න ඕනේ කියලා. නමුත් ඒ සමාගමට තිබෙන්නේ නැව් තුනක් පමණයි. ඒ අනුව එම සමාගමටත් මේ පාරභෝගික අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි වුණා. ඒ සමාගමේ ටෙන්ඩරය අවලංගු කිරීමට තරම් කොන්දක් ඩොනලඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ සපත්තු ලෙවකන අනුර කුමාර දිසානායක මැතිතුමාට නැති වීම කණගාටුවට කරුණක්.

අනුර කුමාර දිසානායක මේ පහුගිය මාස හතරේ විතරක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුධ අභ්‍යාස ගණනාවක නියුතු වුණා. ඒක හෙළි කරන්න ඕනේ, මොකද? මෙයාලා ජනතාව ඉදිරියේ බොරු වාමාංශික කතා පවත්වනවා. මම දැක්කා බ්‍රසීලේ ජනාධිපති ජය ගත්ත අවස්ථාවේ ඔහුටත් සුභ පතලා තිබුණා.

බ්‍රසීල ජනාධිපති ලූලා ඩි සිල්වා කියන්නේ වාමාංශික වෘත්තීය සමති නායකයෙක්. ඔහු රතු කමිසය රැකගත් මිනිසෙක් විනා රතු කමිසය ට්‍රම්ප්ට උකස් කළ මිනිසෙක් නොවෙයි. ඔහුට සුභ පතන්න අනුර කුමාරට කිසිම අයිතියක් නැහැ.

ඇට්ලස් ඒන්ජල් කියන මෙහෙයුම කළා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ අවුරුද්දේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වා. කරාතේ කියන මෙහෙයුම කළා ජූලි 24 සිට 31 දක්වා ත්‍රිකුණාමලයේදී. ඒ විතරක් නෙමෙයි ගාල්ලේ පැවැත්වුණා ඇමරිකාවත් එක්ක යුධ අභ්‍යාස සඳහා වැඩමුළුවක්. මේ මාස හතරට ලංකා ආරක්ෂක හමුදා, ඇමරිකා එක්සත් ජනපදයේ පැසිෆික් කමාන්ඩ් එක සහ එක්සත් ජනපද හමුදාවන් සමග මෙහෙයුම් තුනකට සම්බන්ධ කර තියෙනවා.

මෙව් රනිල් වික්‍රමසිංහ කරා නම් කොහොමද? මෙවා මහින්ද රාජපක්ෂ කරා නම් කොහොමද? අද යැංකින්ගේ සපත්තු ලෙවකෑම නිසා තමයි අපේ ජනතාවට අපේ කාන්තාවන්ට මේ ආකාරයට ගෑස් ටික ගන්න පෝලිම්වල ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ.

මේවට බයේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රට ඇමරිකාවත් සමග යුධමය සන්ධානයකට ගෙනිහින් තිබෙනවා. මෙය ඉතා භයානකයි. අපි දන්නවා ලෝකයේ හැම තැනම ප්‍රශ්න. ඉරානයේ නැව් වලට වතුර ටිකක් දෙන්නේ නැතුව ඉන්න නින්දිත ආණ්ඩුවක් මේක, ඒ තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක තිබෙන මේ රහසිගත ගිවිසුම් නිසායි.

මේ ආණ්ඩුව අද රහසිගත යුධ සංධානයක ඉන්නවා. ඒ රහසිගත යුධ සංධානයේ අනාගත ප්‍රතිඵල බොහෝ භයානක විදිහට ලැබෙයි. අගමැතිතුමිය ලැජ්ජා විය යුතුයි, කාන්තාවන්ට අවශ්‍ය ගෑස් ටික ලබා දෙන්න කටයුතු කරන්නේ නැතුව කාන්තා අයිතිවාසිකම් ගැන පුරාජේරු කතා කරනවා.

මම ලබන 12 වැනිදා මේ රටේ ජනතාවට අනුර කුමාර දිසානායක ඇතුළු මේ ආණ්ඩුවේ ඉන්න දූෂිතයන් කිහිප දෙනෙකුගේ දූෂණ සහ ඔවුන්ගේ නම් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් යට ගහන්න රජය ඇතැම් මාධ්‍ය ආයතන සහ යූටියුබ් කරුවන් මෙයට යොදා ගන්නා ආකාරය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

“ෆ්‍රී ලෝයරස්” සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ආණ්ඩුව මෙරට තුළ මර්දනකාරී සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයක් ස්ථාපනය කිරීමට උත්සාහ කරනවා. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරාගැනීමේ පනත (PSTA), සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත යන පනත් කෙටුම්පත් තුන හරහා මෙරට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ මානව අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ නව නීති සම්මත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ පැලවත්තේ බල ජුන්ටාවේ පැවැත්ම තහවුරු කරගැනීමයි. ජනතාවගේ හෝ ප්‍රජාවගේ අවශ්‍යතාවලට පටහැණිව ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, ආගමික සංවිධාන මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා දැඩි ලෙස පාලනයට ලක් කිරීම මොවුන්ගේ අරමුණයි, මෙමගින් අපේ රටත් දකුණු අප්‍රිකාව හෝ උතුරු කොරියාව වැනි අඳුරු මාවතකට ගෙන යාමේ සැලැස්මක්ද යන බව අපට සැකයක් මතුව තිබෙනවා.

මීට අමතරව, ආණ්ඩුව විවේචනය කරන නීතිඥවරුන්, භික්ෂූන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා පොලිසිය සහ නීතිමය පද්ධතිය අවභාවිතා කරන තත්ත්වයටද වර්තමාන ආණ්ඩුව පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ බුද්ධිමය දේපළ, පුරාවිද්‍යා, රේගු සහ සුරාබදු වැනි සිවිල් කරුණු පවා අඩංගු කරමින් සාමාන්‍ය ජනතාවගේ ඇඳුම් පැළඳුම් හා කොණ්ඩා කැපීමේ විලාසිතා පවා පාලනය කිරීමට මොවුන් අද වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය ඉතාම භයානක තත්ත්වයක්.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතිඥ පසිඳු ගුණරත්න මහතා

ජාතික ආරක්ෂාව සහ අපරාධ මැඩපැවැත්වීමේ මුවාවෙන්, සමාජ මාධ්‍ය භාවිත කරමින් සහ විවිධ මත දරමින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ භාෂණයේ නිදහස දැඩි ලෙස කප්පාදු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා. ත්‍රස්තවාදය සහ අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදයන් තිබිය යුතු වුවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් ජනතාවගේ උද්ඝෝෂණ නිදහස, රජයට විරුද්ධ මත දරන දේශපාලන මතධාරීන් මර්දනය කිරීමට සහ පොලිසියට මෙන්ම විධායකයට අසීමිත බලතල ලබා දීමට මේ පනත් හරහා කටයුතු කරමින් සිටිනවා.

මේ තත්ත්වය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යන පනත් කෙටුම්පත් මගින් විධායකයට සහ පොලිසියට අසීමිත බලතල ලැබී ඇති අතර, අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීමේදී පවා මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් අන්ත ලෙස සීමා කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වයන් මේ සඳහා විරෝධය පළ කරමින් සංශෝධන ඉදිරිපත් කිරීමට උත්සාහ කළද, පාලකයන් එම උපදෙස් සහ විවේචන නොසලකා හරිමින් ඊට වඩා මර්දනකාරී ලෙස එම පනත් සකස් කර ඇති බව තමයි අපට පෙනෙන්ට තිබෙන්නේ.

විශේෂයෙන්ම රටේ තරුණ පරපුර ඇතුළු සමස්ත ජනතාවම මේ ත්‍රස්තවාදී මර්දන පනත් සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් විය යුතුයි. අනාගතයේදී තරුණ තරුණියන්ට නිදහසේ ජීවත් වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම සීමා කරන මේ පනත්වලට එරෙහිව රටේ තරුණ පරපුර වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු අතර, එය අපේ අනාගතය වෙනුවෙන් කළ යුතු වැදගත් කාර්යයක් බව මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනතට අමතරව ඊටත් වඩා භයානක සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එකක් පිටුපස තවත් එකක් ලෙස පැමිණෙන මේ පනත් දෙක රටේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරනවා.

මේ නව පනත් කෙටුම්පතේ 4(2) වගන්තියට අනුව යම් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ඔහුගේ ඇඳුම් විලාසිතාව, ටැටූ (කොටා ඇති පච්ච), භාෂාව හෝ කතාබහ කරන ආකාරය පදනම් කරගත හැකියි. එය ඉතා භයානක තත්ත්වයක්. යම් ප්‍රදේශයකට අනන්‍ය වූ භාෂා සංස්කෘතියක් හෝ ශරීරයේ ඇති ටැටූ සටහනක් නිසා සාමාන්‍ය වැසියන් පවා සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැකයට ලක්වීමේ අවදානමක් මේ නිසා පැන නගිනවා.

සාමාන්‍ය නීතිය යටතේ පැය 24ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, මේ නව පනත යටතේ පොලිස් බාරයේ පැය 72ක් තබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එපමණක් නොව, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගයකින් මාස දෙක බැගින් වසරක් දක්වාත්, අනතුරුව මහාධිකරණය හරහා තවත් වසරක් දක්වාත් නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.

පනතේ 14(3) වගන්තියට අනුව අධිකරණ පූර්ව අවසරයකින් තොරව යම් නඩුවකට අදාළ තොරතුරු මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම වසර දෙකක බන්ධනාගාර දඬුවමකට හෝ දඩයකට යටත් විය හැකි වරදක් බවට මේ පනත මගින් පත් කර තිබෙනවා. මීට අමතරව සූදු වැඩ, පුරාවස්තු, වෘක්ෂලතා, බුද්ධිමය දේපළ සහ වෙළඳ නාම වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ නීති මෙන්ම මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ අයිතිය පවා මෙමගින් දැඩි ලෙස සීමාකර තිබෙනවා.

මේ පනත් සමූහය හරහා රට තුළ අර්ධ පොලිස් රාජ්‍යයක් හෝ දැඩි මර්දනකාරී පාලන තත්ත්වයක් නිර්මාණය විය හැකියි. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ අයිතිය සහ දෛනික ජීවන රටාව පවා රජයේ දැඩි පාලනයට හා නිරීක්ෂණයට යටත් වන බැවින්, ඉදිරියේදී මුහුණ දීමට සිදුවන මෙවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව අවධානයෙන් හා සූදානමින් සිටීම අනිවාර්යය බව මා ප්‍රකාශ කර සිටිනවා.

2026 ඔක්තෝබර් 27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img