36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කෙරේ.
“බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි කිරීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.”- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය රටේ පුරවැසියන්, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව බෝ නොවන රෝගවලින් බේරා ගැනීම බවත්, තරුණ ජීවිත විනාශ කරන ‘අයිස්’ සහ ‘හෙරොයින්’ ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ආරක්ෂක අංශ මෙන්ම අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන තරුණයන් ඉන් මුදාගෙන ඔවුන්ගේ ජීවිතවල හිස්තැන ක්රීඩාශීලීත්වයෙන් පිරවීම රජයේ වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්ති ප්රදානෝත්සවය අමතමිනි.
“තාරුණ්‍යය බලගන්වන, සාමුහිකත්වය දිනවන” තේමාව යටතේ ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දෙදින පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම උළෙලේ සමාප්ති අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ප්‍රතිරූපය කෙලෙසී තිබූ යුගය දැන් අවසන් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තරුණ ප්‍රජාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි පරිසරයක් මේ වන විට සකස් වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් කළේය.
රටක් ඉදිරියට යාමට ආර්ථිකය ස්ථාවර වීම මෙන්ම ක්‍රීඩාව, කලාව, විද්‍යාව හා තාක්ෂණය ඇතුළු සියලු අංශ ඊට සමගාමීව දියුණු විය යුතු බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙල සඳහා ග්‍රාමීය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් තරුණ තරුණියන් විශාල පිරිසක් තරඟ වැදී ඇති බව ද ඉන් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වන බව ද පැවසීය.
ගම් මට්ටමේ සිටින දක්ෂ තරුණ තරුණියන් හඳුනාගෙන, ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන යාම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙවර තරගාවලියේ සමස්ත සම ශූරතාව ලකුණු 130 බැගින් ලබාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක විසින් දිනාගනු ලැබූ අතර, ලකුණු 106ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවන ස්ථානය හිමි විය.
මීට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව පිහිනුම් තරග වාර්තා 21ක් සහ නව තරග වාර්තා 9ක් පිහිටුවීමට සමත් වූහ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණආරච්චි, අරුණ පනාගොඩ, ජගත් මනුවර්ණ, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩල නියෝජිතයින්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ගිහාන් ප්‍රියසාද් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියහ.






















