Monday, November 9, 2026
HomeNEWSගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි –...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල මේ වන විට රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

බැඳුම්කර කඩකර විදේශගත වූ පුද්ගලයන්ගෙන් අදාළ මුදල් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මෙවැනි තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීමේදී ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමසා බැලීමේදී මෙම කරුණු අනාවරණය විය.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය, පරිපාලන ක්‍රියාවලිය සහ ආයතනික කාර්යසාධනය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවා නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කටයුතු විධිමත් කරමින් වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලයේ පාලන හා විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය විය. විශ්වවිද්‍යාලයට වාර්ෂිකව රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් රජයෙන් ලැබුණ ද, විගණන හා කළමනාකරණ කමිටුවේ භාණ්ඩාගාර නියෝජිතයෙකු නොමැති වීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, අභ්‍යන්තර විගණන ඒකකයේ පවතින පුරප්පාඩු සහ මූල්‍ය කටයුතුවලට සෘජුව සම්බන්ධ වූ නිලධාරියෙකු ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කිරීම (ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක)  හේතුවෙන් ලැබැදියාවන් අතර ගැටුමක් ඇති විය හැකි බව ද කාරක සභාව විසින් නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

අධ්‍යයන සුදුසුකම් හා පදවි උසස්වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු  පරස්පර සහතික පත්‍ර, මූලික සුදුසුකම් පිළිබඳ ගැටලු සහ අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අතුරුදහන් වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමාපියන් ඉදිරිපත් කළ පැමිණිලි සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සිදු කළ විමර්ශනවලදී මතුවූ කරුණු ද සලකා බැලිණි. අදාළ චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

අධ්‍යයන නිවාඩු සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ද විගණන නිරීක්ෂණ ඉදිරිපත් වී තිබුණි . පරිවාස කාලයේ සිටි කථිකාචාර්යවරයෙකුට ලබා දුන් අධ්‍යයන නිවාඩු ගණනය කිරීමේදී සිදු වූ දෝෂයක් පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. එමෙන්ම, මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට රුපියල් 3,633,900ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළි වූ අතර, එම මුදල අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා රැසක් අනාවරණය විය. වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන කමිටුව නිර්දේශ කර තිබූ විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

සහායක කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර ක්‍රියාකර ඇති අතර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර  නිවාඩු ලබාගෙන ඇති බව ද අනාවරණය විය. මේ හේතුවෙන් ගෙවා ඇති රුපියල් 99,181,457ක වැටුප් මුදල නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට හෝ පියවර ගෙන නොමැති බව ද මෙහිදී හෙළි විය. සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු ජෛවමිතික පද්ධතියක් අනිවාර්ය කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමික සහ සේවය හැරගිය පුද්ගලයන්ගෙන් මෙන්ම සේවයේ නියුතු සේවකයන්ගෙන් ද අයකර ගැනීමට ඇති අනෙකුත් හිඟ මුදල් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එම මුදල් සම්බන්ධයෙන් පවතින ලේඛන අතුරුදහන් වීම සඳහා සිවිල් යුද්ධය, සුනාමි ව්‍යසනය සහ ගංවතුර වැනි හේතු ඉදිරිපත් කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළ අතර, පාර්ලිමේන්තු කාරක සභාවට නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල පාලක සභාවල ස්වාධීනත්වය මූල්‍ය හා පරිපාලන වගකීම් මඟහැරීමට හේතුවක් කර නොගත යුතු බව අවධාරණය කළ කාරක සභාව, රාජ්‍ය මුදල් භාවිත කරන විශ්වවිද්‍යාල රාජ්‍ය මූල්‍ය විනයට යටත් විය යුතු බව ද පෙන්වා දුන්නේය. පාලක සභාවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගැනීමට හැකිවන පරිදි 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, අබූබකර් අතම්බාවා, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවරණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img