Monday, November 9, 2026
HomeNEWSකොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 6 වෙනිදා, කොළඹ නගරය වැහි වතුරෙන් යටවුණා. ඊට පස්සේ කොළඹ නගරාධිපතිනි බල්තසාර් මැතිණිය මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා කොළඹ නගරයේ කාණු පද්ධතියට දරාගන්න පුළුවන් මිලිමීටර් 35ක ජල ධාරිතා වැස්සක ජලය පමණයි, මිලිමීටර් 129ක දැවැන්ත වර්ෂාවක් පතිත වුණ නිසයි කොළඹ නගරය යටවුණේ කියලා. මේක මාලිමාවේ තවත් එක් පචයක්. මේ පචය තේරුම් ගන්න නම් කොළඹ නගරයට මෑත කාලයේ ඇදගෙන වැටුණු දැවැන්ත වර්ෂාවන් දිහා අපි පොඩ්ඩක් බලන්න ඕනේ.

කොළඹ ජාතික රෝහල වැසි වතුරෙන් යටවෙලා තිබුණු අවස්ථාවේ, ඒ රෝහලේ සේවය කරන නිලධාරිණියක් ඒ වැසි ජලයට රෝහල යටවෙනවා වීඩියෝ කරමින් ඇය ප්‍රකාශ කරනවා 1991 ඉඳන් මම මේ රෝහලේ වැඩ කරන්නේ, කවම කවදාවත් ජාතික රෝහල වැහි වතුරට යටවුණේ නෑ කියලා. අපි ඒ ප්‍රකාශය ජනමාධ්‍ය හරහා දැක්කා. එහෙම නම් 1991 ඉඳන් මේ පැත්තට පහුගිය කාලයේ ඇදගෙන වැටුණු දැවැන්ත වර්ෂාවන් දිහා අපි පොඩ්ඩක් හැරිලා බලමු.

1991න් පස්සේ දැවැන්තම වර්ෂාව වාර්තා වෙන්නේ 1992 ජූනි 4 වෙනිදා මිලිමීටර් 494ක්. ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා ඇදගෙන වැටුණු වැස්ස වගේ හතර ගුණයක වැස්සක් 1992 ජූනි 4 වෙනිදා කොළඹට ඇදගෙන වැටිලා තියෙනවා. ඒ වගේම 2010 නොවැම්බර් 10 වෙනිදා මිලිමීටර් 440ක වැස්සක් කොළඹට ඇදගෙන වැටුණා. ඒ ධාරානිපාත වර්ෂාවන් දෙකත් එක්ක සංසන්දනය කරද්දි නොවැම්බර් 6 වෙනිදා වැස්ස වැස්සක්ද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම 2005 සහ 2009 නොවැම්බර් මාසවලදී දවසකට මිලිමීටර් 200ට වැඩි වැසි දින ගණනාවක්ම වාර්තා වෙනවා. ඒ වගේම කොළඹ නගරයේ වැස්ස ගැන අධ්‍යයනය කරපු ලෝක බැංකුව විසින් සකස් කළ අධ්‍යයන වාර්තාවකට අනුව 2006 සිට 2014 දක්වා කාලය තුළ මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයන් දින 19ක් කොළඹ නගරයට ඇදගෙන වැටිලා තිබෙනවා.

ඒ නිසා මෙහෙම වැස්ස අසාමාන්‍යයි කියන නගරාධිපතිතුමියගේ කතාව තවත් එක් මාලිමා පචයක් පමණමයි. හැබැයි මේ වර්ෂාව ඉතා කෙටි කාලයක් තුළ ඇදවැටුණු බව නම් අපිත් පිළිගන්නවා. ඒ වගේම මේ අවුරුද්ද ඇතුළත වැව් 45ක් හදනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළාම අපි හිතන් හිටියේ ඒක මාලිමාවේ තවත් එක් පචයක් කියලා. දැන් බැලින්නම් ඒ කතාව ඇත්තනේ. පහුගිය නොවැම්බර් 6 වෙනිදා කොළඹ නගරය වැසි වතුරෙන් පිරිලා ගිහිල්ලා පරාක්‍රම සමුද්‍රයට වඩා විශාල, සේනානායක සමුද්‍රයටත් වඩා විශාල, දිසානායක සමුද්‍රය කොළඹ නගරය තුළින් බිහිවෙනවා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි ඊට අමතරව බල්තසාර් ජලාශය, වටගල වැව, තිඹිරිගස්යාය වැව යනාදී වශයෙන් තවත් කුඩා වැව් ගණනාවක් කොළඹ නගරය තුළ බිහිවෙනවා අපි දැක්කා.

වෙන කිසිම අවස්ථාවක සිදුනොවුණු අයුරින් කොළඹ නගරය යටවුණේ ඇයි? මේ ඊළඟ මහා වැස්ස කඩාගෙන වැටෙන්නට කලින් මෙන්න මේ ප්‍රශ්නයට අපි උත්තර හොයාගන්න ඕනේ. කොළඹ ජනතාව කියන විදිහට අද කොළඹ නගරය පුරාවට කුණු කඳු ගොඩගැහිලා, වැස්සක් වැස්සම මේ කුණු කඳු හේදි හේදි ගිහිල්ලා කාණුවලට එකතු වෙනවා. ඒ කාණු ටික සුද්ද කරන්නේත් නෑ. එහි ප්‍රතිඵලයක් විදිහට දැවැන්ත වැස්සක් ඇදගෙන වැටුණම වැසි දිය ගලාගෙන යාමේ ක්‍රමවේදයක් නැති නිසා අනිවාර්යයෙන්ම කොළඹ නගරය යටවෙනවා තමයි. ඔය වගේම නැවතත් අනවසර ඉදිකිරීම් පාත් බිම්වල ඇතිකරන්න පටන් අරන් තියෙනවා. ඇළ මාර්ග, කාණු උඩ ගොඩනැගිලි ඉදිවෙමින් පවතිනවා. මේ සියල්ලම කොළඹ නගරයට ඇදගෙන වැටෙන ජලය ඉවත් කිරීම දුෂ්කර කරලා තියෙනවා. ඒ වගේමයි වැසි දිය පොම්ප කර ඉවත් කිරීම සඳහා තියෙන ජල පොම්ප ගණනාවක් මාස කීපයක් තිස්සේ අක්‍රීයව තිබෙන බව කොළඹ නගර සභාවෙන්ම ආරංචි වෙනවා.

මෙන්න මේ කාරණා එක්ක තමයි වෙනදා නොවන ආකාරයට කොළඹ නගරය යටවුණේ. සරලවම කිව්වොත් කොළඹ නගරය යටවුණේ නගර සභාවේ නොහැකියාව නිසා. ජීවිතේටම පෙට්ටි කඩයක් තියා ගෙයක්වත් පාලනය කරලා අත්දැකීම් නැති බල්තසාර් නෝනාට, ලක්ෂ ගාණක් ජීවත් වෙන මහා දැවැන්ත කොළඹ නගර සභාවේ පාලනය භාරදුන්නම මීට වඩා වැඩි දෙයක් අපිට එතුමියගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මීට කලින් අහලා තිබුණේ මොරසූරන වැස්ස ගැන. හැබැයි මෙදා පාර ඇදගෙන වැටුණේ නම් රෙදි ගැලවෙන වැස්සක්. මේ මහා වර්ෂාවෙන් ගැලවුණේ කොළඹ නගරාධිපතිතුමියගේ සාරිය විතරක්ම නෙවෙයි, ජනාධිපතිතුමාගේ කලිසමත් ගලවගෙන තමයි මේ වැස්ස පොළොවට පතිත වුණේ.

අපි එහෙම කියන්නේ ඇයි? කෝටි ගාණක්, ප්‍රකෝටි ගණනක් වියදම් කරලා, මහා ධන සම්භාරයක් වෙන් කරලා, තවත් කෝටි ගණනක් වියදම් කරලා දැවැන්ත ප්‍රචාරයක් දීලා ක්ලීන් ශ්‍රී ලංකා කියලා ව්‍යාපෘතියක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පටන් ගත්තා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් භාණ්ඩාගාරය සුද්ද කරාට, භාණ්ඩාගාරය හිස් කරාට කුණු කාණු සුද්ද කරලා නෑ, කුණු කාණු හිස් කරලා නෑ කියන එකයි මේ මහා වර්ෂාව රටට පෙන්නලා හෙළිදරව් කරේ. කොටින්ම කියනවා නම් වැස්ස වලාහක දෙවියොත් බොරුවෙන් රජවුණ එකාට නැතිවෙන්නම තලන බවයි මේ ක්ලීන් ශ්‍රී ලංකා පචය හෙළිදරව් කිරීම හරහා අපිට පේන්නේ.

හිටපු ජනාධිපතිවරයෙක් සහ ආරක්ෂක ප්‍රධානීන් ගණනාවකට දැවැන්ත මුදලක් වන්දියක් විදිහට ගෙවන්න නියම කරලා, ඒ වන්දි මුදල් වලින් අරමුදලක් හදලා ඒ මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවකදී තීරණය කළා. ආර්ථික අර්බුදය සම්බන්ධයෙනුත් ඒ හා සමාන තීන්දුවක් ලබා දුන්නා. මේ නඩු තීන්දු දෙකේම මූලධර්මය වුණේ රජයේ නිලධාරීන් හෝ මහජන නියෝජිතයන්ගේ නොසැලකිල්ල නිසා ජනතාවට පාඩුවක් සිද්ධ වෙනවා නම්, ජනතාවට වින්දවන්න සිද්ධ වෙනවා නම්, ඒ අය පෞද්ගලිකව වින්දිතයන්ට වන්දි ගෙවන්න කටයුතු කළ යුතුයි කියන එකයි. ඒ මූලධර්මය අනුව යමින් කොළඹ නගරයේ මේ මහා වැස්ස නිසා තමන්ගේ දේපළ හානි වුණු ලක්ෂ ගණනින්, කෝටි ගණනින් තමන්ගේ දේපළ හානි වුණු සියලුම දෙනාට මාලිමා ආණ්ඩුවෙන්, නායකයින් පෞද්ගලිකව වන්දි ගෙවිය යුතුයි. රජයෙන් නෙවෙයි, දිට්ඨධම්මවේදනීය කර්මය වගේ රජයෙන් නෙවෙයි වන්දි ගෙවන්න ඕනේ, පෞද්ගලික මුදලින්. ඒක තමයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ මූලධර්මය වුණේ.

කවුද එහෙනම් පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු ඒ අය? එක, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ භාරව සිටින ජනාධිපති අනුර දිසානායක මැතිතුමා. දෙක, කොළඹ නගරය පිරිසිදුව තබා ගැනීමටත්, අනවසර ඉදිකිරීම් නොකරන බවට වගබලා ගැනීමටත් භාරව සිටින නගරාධිපතිනි බල්තසාර් මැතිණිය. මේ අය තම පෞද්ගලික මුදලින් කොළඹ නගරයේ දේපළ විනාශ වුණු වින්දිතයන්ට වන්දි ගෙවිය යුතුයි. ඉතින් තමන්ගේ පෞද්ගලික මුදල ප්‍රමාණවත් නොවනවා නම් මේ දැවැන්ත වන්දිය ගෙවන්න ලංකාවේ තිබෙන ලොකුම අරමුදල වන පැලවත්ත අරමුදලෙන් මුදල් ලබාගත හැකියි කියන එකත් ජනාධිපතිතුමාටත්, බල්තසාර් නෝනාටත් අපි සිහිපත් කරනවා.

ඇත්තෙන්ම නගරාධිපති තුමිය දොස් කිව්වේ වැස්සේ දැවැන්තකමට නේ. නගර සභාවේ වැරැද්දක් නෙවෙයි වැස්ස ලොකු වෙච්ච හින්දා, කාණු පද්ධතියට දරාගන්න බැරි මට්ටමට වැස්ස නිසයි මේක වුණේ. නගරාධිපති තුමියනේ කාණු පද්ධතියට දරාගන්න පුළුවන් මිලිමීටර් 35ක වැස්සක්ය, ඒ නිසා මිලිමීටර් 129 වැස්සක් වහින්නේ නැතුව වාරික 5කට දවස් පහකදී වහින්නෙයි කියලා වැස්ස වලාහක දෙවියන්ට ටෙලිග්‍රෑම් ගහලා දැනුම් දෙන්න විදියක් නෑනේ. එහෙනම් මීළඟ වැස්ස එන්න කලින් කොළඹ නගරය වැස්සට සූදානම් කිරීමයි නගරාධිපති තුමියගේ වගකීම වෙන්නේ. ඒ මිසක් වැස්ස වලාහක දෙවියන්ට දොස් කීම නෙවෙයි. ඒ සඳහා එතුමියට තියෙන හොඳම ආදර්ශය හිටපු නාගරික ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.

2010 නොවැම්බර් 10 වෙනිදා දැවැන්ත වර්ෂාවක් ලංකාවට කඩා වැටුණා. කොළඹ නගරයටත් දැවැන්ත වර්ෂාවක් කඩා වැටුණා. මේ වැස්ස වගේ දෙතුන් ගුණයකින් ඉහළ වර්ෂාවක්. පාර්ලිමේන්තුව යටවෙලා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් එළියට ගත්තේ හමුදාවේ බෆල් රථවල නග්ගගෙන. හැබැයි කොළඹ නගරය යළි යටනොවන බවට සුරක්ෂිත කිරීමේ වගකීම අරගෙන ගෝඨාභය මහත්තයා වැඩට බැස්සා. මොකද කරේ?

ඒ වෙනවිට බ්ලූමැන්ඩල් කුණු කන්ද කියලා දැවැන්ත කුණු කන්දක් තිබ්බා කොළඹ නගරයේ. ඒක දිනපතා වැඩෙන වේගය අනුව අද වනතුරු තිබුණා නම් පිදුරුතලාගල කන්ද නෙවෙයි බ්ලූමැන්ඩල් කුණු කන්දයි ලංකාවේ උසම කන්ද වෙන්නේ. හැබැයි ඒ කන්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරා. ඒ විතරක් නෙවෙයි, කොළඹ නගරය පුරා තැන් තැන්වල ගොඩගැහිලා තිබ්බ කුණු කඳු සියල්ලම ඉවත් කරා. පරිසර පොලීසියක් හදලා කුණු බිඳක්වත් පාරේ දාන එක තහනම් කරා විතරක් නෙවෙයි නීතිය අකුරටම ක්‍රියාත්මක වුණා. කොළඹ නගරය පැරිස්, ලන්ඩන් නගරවලට වඩා පිරිසිදුයි කියලා විදේශිකයන් කොළඹ නගරය ගැන වර්ණනා කරමින් සමාජ මාධ්‍ය සටහන් තියන්න පටන් ගත්තා. 2013 දී ලොව පිරිසිදුම නගරයක් ලෙස ට්‍රැවල් කියන සඟරාවෙන් කොළඹ නගරය තෝරා ගත්තා.

ඒ විතරක් නෙවෙයි ඒ වෙනවිට කොළඹ නගරයේ දේශපාලන බලවතුන්, කෝටිපති ව්‍යාපාරිකයන් ඇළ මාර්ග අත්පත් කරගෙන දැවැන්ත තට්ටු ගොඩනැගිලි ඉදි කරලා තිබුණා. තරාතිරම නොබලා සියලුම අනවසර ඉදිකිරීම් කුඩු කරලා, නාවික හමුදාව යොදවලා පරණ ඇළ මාර්ග සියල්ලම පාදා ගත්තා. අවසානයේදී කොළඹ නැවත යට නොවන නගරයක් බවට පරිවර්තනය වුණා.

ඒ නිසා අපේ බල්තසාර් නෝනාට කියන්නේ වැස්සට සාප කරනවා වෙනුවට ගෝඨාභය මහත්තයාගේ ආදර්ශයට අරන් වැඩට බැස්සොත් නැවත කොළඹ නගරය යටවීම ඉතිහාසයට අයත් කාරණයක් බවට පත් කරන්න පුළුවන්, කළ හැකියි කියන එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මහා පොළොවේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන නිසා.

ජනාධිපතිගේ මුක්තිය මාලිමා ඩෝබිලාටත් ලැබිලා ද?

රුවන්වැලි මහා සෑය වගේම මහා මෙවුනා උයනත් අපේ පුරාණ රජවරු සංඝ සතු කොට පූජා කරපු සාංඝික දේපළ. යම්කිසි දෙයක් පෞද්ගලිකව පූජා කරොත් ඒක හිමිවන්නේ පූජාව ලබන භික්ෂූන් වහන්සේට. හැබැයි සංඝ සතු කර දේපළක් කරොත් ඒක සාංඝික දේපළක් වෙනවා. සාංඝික දේපළක් කරලා පූජා කරනවා කියන්නේ සැරියුත් මුගලන් අගසව් දෙනම ප්‍රමුඛ කොටගත් අතීතයේ සිටිය භික්ෂූන් වහන්සේලාටත්, වර්තමානයේ සිටින භික්ෂූන් වහන්සේලාටත්, අනාගතයේ බිහිවෙන භික්ෂූන් වහන්සේලාටත් කියන සමස්ත භික්ෂු සමාජයටම ඒ පූජා කරනවා කියන එකයි. එහෙමනම් එදා රජදරුවන් විසින් සංඝ සතු කොට සාංඝික දේපළක් කරපු මේ අනුරාධපුර පූජා නගරය වර්තමානයේ ජීවත් වෙන භික්ෂූන් වහන්සේලාටත් අයිතියි. එතන භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා සත්‍යග්‍රහයක් පවත්වන්න කාගෙන්වත් අවසර ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ. එවැනි භූමියකට රජතුමාට වගේම ජනාධිපතිටවත් භික්ෂූන් වහන්සේලාගේ අවසරයකින් තොරව ඇතුල් වෙන්න බෑ. ඕකයි රටේ සම්ප්‍රදාය, ඓතිහාසික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නවවෙනි වගන්තියෙන් සුරක්ෂිත කරලා තියෙන අපේ බෞද්ධ උරුමය.

අවාසනාවකට ඒ උරුමයට පයින් ගහන මාලිමා ආණ්ඩුව පොලීසිය යොදවලා අනුරාධපුර පූජා භූමියේ සාමකාමීව සත්‍යග්‍රහයක යෙදී හිටිය භික්ෂූන් වහන්සේලාට අමානුෂික ආකාරයෙන් පහර දෙනවා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි මහේස්ත්‍රාත් අධිකරණයකින් නියෝගයක් ගෙනැවිත් භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා බල කරනවා අපි දැක්කා. එතන තිබුණේ සාමකාමී සත්‍යග්‍රහයක්. තමන්ට අයිති ස්ථානයක සාමකාමීව තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට පමණක් නෙවෙයි මේ රටේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තිබුණු ව්‍යවස්ථාපිත අයිතියක්. අන්න ඒ අයිතියයි භික්ෂූන් වහන්සේලා භුක්ති වින්දෙමින් හිටියේ. ඒ නිසා මහේස්ත්‍රාත් අධිකරණයකින් උන්වහන්සේලා ඉවත් කරන්න කියලා නියෝගයක් ලබා දුන්නා නම් ඒ නියෝගය නීති විරෝධී. භික්ෂූන් වහන්සේලාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්තුමාත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාත් එවැනිම නීති විරෝධී නියෝග දීලා මේ වනවිට අපි ඒවා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් එන නඩුකාර තුමන්ලාට එරෙහිව අපි නඩු පවරලා තියෙනවා. අපි විනිසුරුතුමන්ලාට එරෙහිව අධිකරණයට යන්න තීරණය කළේ මාලිමා ආණ්ඩුව පොලීසියට අමතරව අධිකරණයත් ජනතාව මර්දනය කිරීමේ මෙවලමක් විදියට පාවිච්චි කිරීමට දරන කැත උත්සාහය පරාජය කළ යුතු නිසා.

සාමකාමීව පැවති එතන සත්‍යග්‍රහය ගැටුමක් බවට පෙරළුණේ අපි රූපවාහිනී මාධ්‍යවල දැක්ක විදියට අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් සහ නිල්පාට ටීෂර්ට් එකක් ඇඳගෙන සිටිය පුද්ගලයෙක් තමයි ගැටුමක් බවට එතන ඇති කරේ. අවසානයේ පොලීසිය අත්අඩංගුවට ගන්නේ සාමකාමීව සත්‍යග්‍රහයේ යෙදිලා හිටිය අය මිස ගැටුම ඇති කරපු අය නෙවෙයි. මෙන්න මේ අයයි ගැටුම ඇති කළේ කියලා පොලීසියට කියද්දී මේ වෙනතුරුත් මේ අයව අත්අඩංගුවට අරන් නෑ. බොහෝ අය කියනවා ඔය අයිස්ක්‍රීම් වෙළෙන්දත් මාලිමා පාක්ෂිකයෙක් කියලා ඒ පිළිබඳව සාක්ෂි නෑ. හැබැයි අර නිල්පාට ටීෂර්ට් එකක් ඇඳලා හිටිය පුද්ගලයා රට අනුරට කියන පත්‍රිකා ජනාධිපතිවරණයේ කාලේ බෙදන ඡායාරූපත් සමාජ මාධ්‍යවල සැරිසරනවා. එතකොට මේ අය මාලිමාවට කඩේ යන ඩෝබින් නිසාද අත්අඩංගුවට ගැනීමට පොලීසිය මැළි වෙන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන මුක්තිය මාලිමාවේ ඩෝබීලටත් දැන් ලබා දීලද කියලා අපිට පොලීසියෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.

ඒ වගේම අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ බෞද්ධයන්ගේ හිතේ මතුවෙලා තියෙන කුකුස ඒ කුකුස තුළින් මතුවුණු ආන්දෝලනය පොලිස් මර්දනය හරහා යටපත් කරන්න බෑ කියන එක අපි මාලිමා ආණ්ඩුවට සිහිපත් කරනවා. අපි මාලිමා ආණ්ඩුවට කියන්නේ බෞද්ධ විරෝධී මාලිමා ආණ්ඩුවට ථෙරවාදී බෞද්ධයාගේ හදවත වෙන අනුරාධපුර පූජා නගරයට අත තියන්න ඉඩ දෙන්න බෞද්ධයන් සූදානම් නැති බවයි. කොහෙන් හරි හම්බෙන මුදල්වලට කෑදරකමෙන් නම් මේ වැඩේ පටන් ගන්නේ අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා සල්ලි වලට කරන්න දෙයක්ම නැත්නම් අන්න තඹුත්තේගම රෝහලේ දුෂ්කරතා බොහොමයි කියලා මාධ්‍යවල වාර්තා කරනවා අඩුම ගානේ ඒ මුදල් පාවිච්චි කරලා තඹුත්තේගම රෝහල සංවර්ධනය කරන්න. පූජා නගරය ඔය තියෙන විදියට තිබිච්ච දෙන් අපිට ඔහොම තිබ්බම ඇති හොඳටම ප්‍රමාණවත් කවදා හරි බෞද්ධ නායකයෙක් එන්න ඕනෙ නෑ බුදු දහමට ගරු කරන නායකයෙක් ඉන්න දවසක බෞද්ධ අපි අනුරාධපුරය විය යුතු ආකාරයෙන් මුලින්ම කැනීම් කරලා දෙවනුව සංරක්ෂණය කරලා තුන්වෙනුව සංවර්ධනය පටන් ගන්නම් එතෙක් අනුරාධපුර පූජා භූමියට කළ හැකි ලොකුම සේවය නම් ඔබ වැනි බෞද්ධ විරෝධීන් මේ නගරයට අතනොතියා සිටින එකයි කියන එක අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ නායකයන්ට අපි කියන්න කැමතියි.

මේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට සමාජයේ බුරබුරා මතුවෙන විරෝධය වෙනතකට හැරවීමේ කුමන්ත්‍රණයක කොටසක් විදියට අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම ගැන අපි කරපු ප්‍රකාශ විකෘති කරලා කතා කරනවා. රුවන්වැලි මහා සෑය යටින් හාරගෙන ඇවිත් රුවන්වැලි සෑය ගිලා බැස්සවීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ තිබෙනවාය කියලා මම කිව්වාය කියලා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමයි ආගමික කටයුතු ඇමතිතුමයි විතරක් නෙවෙයි ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරනවා. ඔය ප්‍රකාශ කළාට පස්සේ අපි මාධ්‍ය හමුවකදී එරංග ගුණසේකර නියෝජ්‍ය ඇමතිතුමාට අභියෝගයක් කළා මම එවැනි ප්‍රකාශයක් කළා නම් පුළුවන් නම් ඒ වීඩියෝ පටය රට ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ මගේ අභියෝගය කළා විතරයි නායකයෝ හැමෝගෙම කටේ පිට්ටු වුණා. මම නැවත වතාවක් අද ඒ අභියෝගය අලුත් කරනවා. ජනාධිපතිතුමනි, ආගමික කටයුතු ඇමතිතුමනි, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමනි, රුවන්වැලි සෑය යටින් හාරා එය ගිලා බැස්සවීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව යෙදී සිටින බවට මා කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය පුළුවන් නම් පෙන්වන්න කියලා මම නැවත වතාවක් ආණ්ඩුවට අභියෝග කරනවා.

මාලිමා නායකයෝ කට ඇරියොත් කියන්නේ පච කියලා දැන් නම් මේ රටේ අතිශය බහුතරයක් ජනතාව දන්නවා. හැබැයි අවාසනාවට ඒක නොදන්න අතළොස්සකුත් ඉන්නවා. අර එරංග ගුණසේකර ඇමතිතුමා මම කළාය කියලා කිවූ පච ප්‍රකාශය ඇහිලා විශ්‍රාමික බයිසිකල් ශූරයෙක් කකුල් දෙකටම කලිසමක් ඇඳලා ටයි පොල්ලකුත් ගැට ගහගෙන රහස් පොලීසියට ගිහිල්ලා මට එරෙහිව පැමිණිල්ලක් කරනවා මම මේ රුවන්වැලි සෑය පිළිබඳ මහා බොරුවක් ප්‍රචාරය කරලා ජනතාව කුපිත කිරීමේ උත්සාහයක යෙදිලා ඉන්නවාය කියලා. මමගේ අතේ ඇඟිලි ගණන් කරමින් ඉන්නේ රහස් පොලීසියෙන් මට කැඳවීමක් කරනතුරු මේ ආණ්ඩුව අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කියලා කරන ප්‍රෝඩාවේ ඇත්ත හෙළිදරව් කරන්නලා ඒ බොරුව පොලීසියටත් කියලා දෙන්න මට පොලීසියේ කැඳවීමක් එනතුරු බලාගෙන ඉන්නවා අනේ තවම ඒක ආවේ නෑ මට එදාට පුළුවන් ජනාධිපතිතුමාගේ විමල් රත්නායක ඇමතිතුමාගේ ආගමික කටයුතු ඇමතිතුමාගේ කල්වාරියේ සුනිල් සෙනෙවි මැතිතුමා ඇතුළු එරංග ගුණසේකර මැතිතුමාගේ පචය තවත් වටයකින් හෙළිදරව් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...

ගිං ගඟේ ජල මට්ටම ඉහළට..තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්; අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව...

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img