අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කරයි.
රුවන් වැලි සෑය පූජාභූමිය තුළ සංඝයා වහන්සේ අතර එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම ගැන තමන් දැඩිලෙස කණගාටුවට පත්වන බවද ඔහු පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ෂිරාස් යුනුස් මහතා අවධාරණය කරන්නේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවුවහොත් එය බෞද්ධ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට යහපත් නොවන බවයි.
මෙම විශේෂ ප්‍රකාශය සිදු සිදුකරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද පැවසුවේය.
මේ සිංහල බෞද්ධ රටේ මෙයාකාරයෙන් සංඝයා වහන්සේ අතරේ ගැටුම් සිදුවීම හොඳ දෙයක් නෙවෙයි.මෙහෙම දෙයක් ඇති නොවෙන්න වර්තමාන ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා.
මොකද මේ රුවන්වැලි මහා සෑය පූජා භූමිය තුළ ඇති වු ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මාලිමා ආණ්ඩුවේ සමහර කොටස් සම්බන්ධ බවටත් සමහර සංඝයා වහන්සේ චෝදනා කරනවා.
ඒ නිසා මෙම ගැටුම්කාරී තත්ත්වය ගැන පොලිසිය මගින් අපක්ෂපාතීව සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සම්බන්ධ බවට එල්ලවන චෝදනාව නිසා සාධාරණ පරීක්ෂණයක් පොලිසිය මගින් සිදුවේද යන කාරණය ගැනත් සැකයක් මතු වී තිබෙනවා.
මොකද මේක ඉතාමත්ම බරපතල කාරණයක්. මේ සියලුම කාරණා ගැන මහා නායක හිමිරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි.
මහා නායක හිමිවරුන් විසින් මේ පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් රටට සිදු කළොත් එය වඩාත් යහපත්.
මම යළිත් වරක් මේ රටේ ගෞරවනීය මහා නායක හිමිවරුන්ගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, මේ ගැන කඩිනමින්ම අවධානය යොමු කරන්න කියලා.
මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම ඇතිවීම බෞද්ධ රටකට සුදුසු නැහැ.
ඒක සිංහල බෞද්ධයන්ටත් හානියක්. සියලුම ජාතීන් ආගම් මේ රටේ ආරක්ෂා වෙලා තියෙන්නේ බෞද්ධත්වය සෙවණේ. ඒක අප සියලු දෙනාම තේරුම් ගත යුතුයි.
ඒ නිසා අපි කවුරුවත් කැමති නැහැ සංඝරත්නය අතර භේද ඇතිවෙනවාට.
සංඝයා භේද කිරීම බරපතළම පාපකර්මයක් බවත් අප සියලු දෙනාම හොඳින් මතක තබා ගත යුතුයි.






















