දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී පිරිසක් පොහොට්ටුවට එක් වෙයි
දෙමළ ජාතික සංධානය නියෝජනය කල නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට සහය දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්විමට තිරණය කර තිබේ.
ඔවුන් ඊයේ(28) පස්වරුවේ ත්‍රිකුණාමලය මල්ලිකා හෝටලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියහ. මේ සදහා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, උප සභාපතිවරයෙක්, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරු දෙදෙනෙක්, හිටපු විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
ඔවුන් එහිදි අවධාරණය කළේ වසර 30ක් පුරා පැවති යුද්ධයෙන් සිය ජනතාව අනන්ත පීඩා විදි බවත් ඒ සදහා කිසිදු සහනයක් නොලැබුණ බවත් ය. දෙමළ ජාතික සංධානය සිය ජනතාවගේ ඡන්දය ලබා ගනිමින් කොළඹට යන බවත් යළිත් ගමට එන්නේ ඡන්දයක් ලංවුණ විටදි බවත් මෙම පිරිස කිවුහ.
මේ අයුරින් වසර ගණනාවක් දෙමළ ජාතික සංධානයට එම ජනතාව රැවටුණු බවද ඔවුන් කිවූහ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙලට සහය දක්වමින් මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන බවත් ඔවුන් කියා සිටියේය.






















