ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ…..!
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන සඳහා වඩාත් පහසු සහ සංවිධානාත්මක පරිපාලන පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම අද දින (2026.08.28) සිදුකෙරිණ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි.
2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලදුව විවිධ අර්බුද හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබිණි. සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණය මහල් 25 කින්, වර්ග අඩි දහතුන්ලක්ෂ පනස්නවදහස් හාරසිය තිස්නවයක වපසරියකින් යුක්තය. රුපියල් බිලියන 33.02 ක ආයෝජනයකින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සමග බලශක්ති අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන සමපාර්ශ්වකාරිත්වයෙනි. එසේම වෙනත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්රණ ශාලා, මහජන සේවා මධ්‍යස්ථාන, වාණිජ පහසුකම් සහ රථ ගාල් කිරීමේ පහසුකම් සහිතව මහජන සේවාවන් ලබාදීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කෙරේ.
අනාගත පරිපාලන කාර්යක්ෂමතාව, රාජ්‍ය සේවා නවීකරණය සහ ජාතික ආර්ථිකයේ වර්ධනයට ලබාදිය හැකි දායකත්වය වෙනුවෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය මාස තිහක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ කොටුව ඇතුළු කොළඹ නගරයේ ස්ථාපිත රජයේ කාර්යාල බත්තරමුල්ල ප්‍රදේශයට විතැන් කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට රාජ්‍ය ආයතන රැසක් බත්තරමුල්ල ආශ්‍රිතව ස්ථාන ගතකර ඇත. කොළඹ පරිපාලන නගරය වාණිජ නගරයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් පරිපාලන සේවා බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කලාපය වෙත ක්‍රමිකව ස්ථානගත කරමින් පවතී.
සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ;
‘අද අපි මේ කරන්නේ අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් අත්හැරලා දාලා තිබුණු, අපතේ යමින් තිබුණු ජාතික සම්පතකට නැවත ජීවය දෙමින් ආර්ථිකයට ශක්තියක් දෙමින් මහජනතාවට සේවය කරන ස්ථානයක් බවට පත් කරන්න මූලික පියවර තියන එක.
අපේ රටේ පරිපාලන ගොඩනැගිලි, රාජ්‍ය ආයතන බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන ඒමේ සැලසුමක් කාලයක සිට ක්‍රියාත්මක වෙනවා, කොළඹ නගරයේ තියෙන තදබදයට විසඳුම් හැටියට. නමුත් තියෙන ඉඩ පහසුකම් සහ අනෙක් කරුණුත් එක්ක ඒක යම් ස්ථානයකට ඇවිල්ලා නතර කරන්න සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා බත්තරමුල්ල ප්‍රධාන පරිපාලන නගරය නැත්නම් Main Administration Capital විදියට සංවර්ධනය කරන අතරම උප පරිපාලන නගර නැත්නම් Mini Administration Capital විදියට තවත් සුදුසු නගර කිහිපයක් සංවර්ධනය කරන්න.
විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් එක්ක දුම්රිය ස්ථාන, Station එකක් විතරක් නෙමෙයි වාණිජ සහ කාර්යාල පහසුකම් සපයන ස්ථාන හැටියට සංවර්ධනය කරනවා. ඉදිරියේදී Marine Drive එකයි, ගාලු පාරයි සංවර්ධනයත් එක්ක ජනතාව ප්රාදේශීයව තමන්ට අවශ්‍ය පහසුකම් සලසාගන්න පුරුදු වෙනවා. මේ අනාගත සැලසුම් ගැන රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබත් කල්පනා කරන්න පටන් ගත් විට තමයි අපිට හොඳම උත්තර, සැලසුම් සකස් කරන්න පුළුවන් වෙන්නේ.
අපි Modern Office Space Management ගැන කල්පන කරන්න ඕනි. බිත්ති බැඳපු, හිරවෙච්චි කාර්යාල ක්‍රමයෙන් එලියට එන්න ඕනි. Office Space එක කියන්නෙ Ego එක නැත්නම් සරලව තමන් ගැන, තමන්ගෙ තනතුර පෙන්නන තැනක් නෙමෙයි. සුදුසුකම් තියෙන අයට පුංචි Office එකක් ඇති. ඔෆිස් එකේ ඉඩ ප්‍රමාණයෙන් පෞරුෂත්වය ගොඩනගාගන්න අපිට වුවමනාවක් නැහැ. සමහර ආයතන ඒ බිල්ඩින් එකට ගැටගහලා තියන්නෙ. යටිතල පහසුකම් කියන්නෙ කොන්ක්‍රීට් විතරක් නෙමෙයි.
ඉදිරියේදි අපිට මේ කාර්යාලවලදි හම්බවෙන්නෙ මේ රටේ ගෞරවණීය පුරවැසියෙක්. අපි මේ හදන්නෙ බිල්ඩින් එකක් විතරක් නෙමෙයි. මේක මහජන සම්බන්ධතාවයක්. විනයක් සහිත නිදහස් මානසිකත්වයකින් කටයුතු කරන පුද්ගලයින්, නිලධාරීන් ඉන්න ඕනි.
මේ බිල්ඩින් එක 2029 ජනතාවට ලබාදෙනකොට අපේ රට Digital තාක්ෂණය පැත්තෙන් හුගක් ඉදිරියට ගිහින් තියෙනවා. ඔබ, සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණය ලංකාවෙ පළවෙනි Digital Hybrid Administrative Hub එක බවට පත් කරන්න ඕනි. මේක Land Mark Project එකක් විදියට අවසන් කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒ විදියට මේ සැලසුම් සකස් කරන මෙන් ඉල්ලා සිටිනවා.’
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය යූ.ඩී.එන්. ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ශ්‍රීනාත් ජයගොඩආරච්චි යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) ඉංජිනේරු අයි.එම්.එස්. බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්.ජී. හේමචන්ද්‍ර, එහි අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක, එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) ආනන්ද සමරසිංහ, බලශක්ති අමාත්‍යංශයේ අධ්යක්ෂ (සැලසුම්/බලශක්ති) එස්.ආර්.බී.ආර්.ජී.සී. ගන්නොරුව යන මහත්ම මහත්මීහු ඇතුළු ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද ඉදිකිරීම් සමාගම වන මාග ඉංජිනියර්ස් (පුද්.) සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක අධ්යක්ෂ පියදාස මදරසිංහ, කළමනාකාර අධ්යක්ෂ මේඝ කුලරත්න යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය






















