අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්රදානය කෙරේ.
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට හානි සිදුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවීන් 86 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්රදානය කිරීම සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (11-10) මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ මෙම වන්දි මුදල් ගෙවීම සිදු කෙරේ.
ඒ අනුව, අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වී වගාවන් විනාශ වූ ගොවීන් 86 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.6ක වන්දි මුදලක් වෙන් කර ඇති අතර, ඉන් මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 52 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.1ක වන්දි මුදලක් ප්රදානය කිරීම මෙහිදී සිදු විය.
වන්දි මුදල් ලබාදීමෙන් අනතුරුව ගොවීන්ට ඉදිරි මහ කන්නයේ වී වගා කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගොවීන්ට අවශ්‍ය සහන ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර, ගොවියා ශක්තිමත් ව්‍යවසායකයකු බවට පත් කිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා, පළාත් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ දිලිප් කුමාර් මහතා, මඩු ප්‍රාදේශීය ලේකම් ආර්. සී. අමල්රාජ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය






















