මේ වන විට මරණ දඬුවමට නියම වී සෞදි අරාබියේ බන්ධනාගාර ගත වී සිටින සිවරාසන් අනෝජන් මහතාට නිදහස ලබා ගැනීමට වන අභියාචනය එරට අභියාචනාධිකරණයට ඉදිරි දින දෙක ඇතුළත ශ්රී ලංකාවෙන් ගිය විශේෂ නීතිඥ කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.
එම අභියාචනය සකස් කිරීමට අදාළ වන සාකච්ඡා වට දෙකක් ශ්රී ලංකාවෙන් ගිය විශේෂ නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායමක් අතර සිදුවී ඇති බවත් එය සාර්ථකව එම කටයුතු සිදු කෙරෙමින් පවතින බවද එරටින් දැනගන්නට ලැබේ.
එරට නීතියට අදාළව මෙම අභියාචනය සැකසීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් ඉන් අනතුරුව එම අභියාචනය සකස් කර ඉදිරි දින දෙක ඇතුළතදී එරට අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡා සඳහා ශ්රී ලංකාවෙන් පිටත්ව ගිය විශේෂ නීතිඥ කණ්ඩායම දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද දැනගන්නට ලැබේ.
ඉස්ලාම් දහමට අපහාස කිරීමට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඩුවම නියමවී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් පසුගිය (06) දින සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතීඥ හෆීල් ෆාරීස් සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුලත් වේ.
ඊට අමතරව ජෙඩාහි කොන්සියුලර් ජනරාල් මොහොමඩ් ලාෆීර්, ෆයිසර් මුස්තාපා මන්ත්රීවරයාගේ ලේකම් රියාස්ඩීම් සිල්මි යන මහත්වරුන් සහ එරට තානාපති කාර්යාලයේ තවත් නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටින බවද වාර්තාවේ.






















