අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මොකද වෙන්නේ?
නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව මැතිවරණ කොමිසම විසින් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැසට් කිරීමට කටයුතු නොකිරීම, දේශපාලන කුමන්ත්‍රණයක් බව අපේ ජන බල පක්ෂය පවසයි.
එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුසන්ත කොඩිතුවක්කු මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල අද (22) කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී විභාගයට ගනු ලැබීය.
ඒ අනුව පසුගිය 19 වැනි දා පැමිණිල්ල යොමුකළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තිබුණි.
මේ අතර අද පස්වරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් පැමිණියේය.
එම අවස්ථාවේ දී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත.
එම අවස්ථාවේ දී විහාරස්ථානයට වැඩම කර සිටි පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ දී සාකච්ඡා කිරීමට උන්වහන්සේ එකඟ වූ බවය.






















