මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ බව පවසා සිටියේ, “ජන රජයට ජන බලයක්“ තේමාවෙන් ජාතික ජන බලවේගය නුවරඑළිය නගරයේ සංවිධාන කළ මැයි දින රැළිය අමතමින්.
එසේම මීට පෙර ආණ්ඩු ගත්තේ පාලකයන්ගේ වරදාන වරප්‍රසාද වැඩි කර, ජනතාවට පීඩාව වේදනාව ගෙනත් දෙන තීන්දු බවත්, අද එය අනිත් පැත්ත බවත්, ජනපතිවරයා පවසනවා.
එහිදී ජනපතිවරයා මෙසේද සඳහන් කළා,
”අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමුවතාවට තමයි මැයි දින රැළියක් පවත්වන්නේ. හැබැයි අපි පළමු අවස්ථාවට මැයි දිනය පවත්වන කොට මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබල තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෙරෙහි කියන පණිවිඩය තමයි ඒ දීලා තියෙන්නේ. මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුව ජයග්‍රහණය ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාවට. මතක තබා ගන්න ලංකාවේ හැදිලා තියෙන ශක්තිමත්ම සහ වැඩිම ජනතා විශ්වාසය දිනාගන්න ආණ්ඩුව මේක. මේ මලයගම් ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද විශ්වාස කරනවා. අපි උතුරට ගියොත් එම ජනතාව විශ්වාස කරන්නෙත් මේ ආණ්ඩුව. අපි නැගෙනහිරට ගියොත් එහි ජනතාව විශ්වාස කරන්නේත් මේ ආණ්ඩුව. දකුණ සියලු ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව. ඒ කියන්නේ මොකක්ද ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්, වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගිලා තියෙනවා.
මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු එකහමාරකට කිට්ටුවෙමින් තියෙනවා. මේ කාලය තුළ අපි ආණ්ඩුව ලෙස තීන්දු තීරණ බොහොමයක් ගත්තා. බොහොම වැඩ කටයුතු වලට මුල් පියවර තිබ්බා. ඒ හැම එකේම ප්‍රතිඵල කුමක්ද? අපේ අරමුණ මොකක්ද? අපේ ඉලක්කය මොකක්ද? අපේ රටේ වැඩ කරන ජනතාවට ඉතාමත් හොඳ ආදායම් මාර්ගයක්, ඉන්න නිවහනක්, අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නීතියක් තිබෙන රටක්, ජාතික සමගිය තිබෙන රටක් ගොඩනැංවීමයි.
අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් තීන්දු. දෙක පාලකයන්ගේ වරප්‍රසාද කපන තීන්දු. වෙනදා ආණ්ඩු ගන්න තීන්දු මොනවාද? පාලකයන්ගේ වරදාන වරප්‍රසාද වැඩි කර ගන්න තීන්දු. ජනතාවට පීඩාව වේදනාව ගෙනත් දෙන තීන්දු. හැබැයි අද ඒකේ අනිත් පැත්ත. තීන්දු ගන්නවා පාලකයන්ගේ වරප්‍රසාද කපන්න. තීන්දු ගන්නවා වැඩ කරන ජනතාවගේ ජීවිත උසස් කරන්න. එහෙනම් මොකක්ද මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ගොඩනැගිලා තියෙන වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ලංකාවේ පළමු වතාවට වැඩ කරන ජනතාව ප්‍රමුඛ කොට ගෙන, වැඩ කරන ජනතාව ඉලක්ක කරගෙන, වැඩ කරන ජනතාවගේ ඉදිරිය වෙනුවෙන් ආණ්ඩුවක් හදලා තියෙනවා.
අපේ ගත්තු තීන්දු බලන්න. මේ මලයගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ තීන්දුවක් ගත්තා. ඇයි? අපි ඉන්නෙ ඒ ජනතාවත් එක්ක.
දිට්වා සුළි කුනාටුව ආවා. කුඹුරු විනාශ වුණා, භෝග විනාශ වුණා, ඇති කරන සත්තු විනාශ වුණා, ගොවි ජනතාව, ධීවර ජනතාව, වැවිලි ක්ෂේත්‍රයේ වැඩ කරන ජනතාව විශාල අසීරුතාවයකට පත්වුණා. අපේ ආණ්ඩුව මොකක්ද කළේ වගා බිම්වලට ලංකා ඉතිහාසය ලබා දුන් වැඩිම වන්දි දෙන්න තීරණය කළා. ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක්.
ධීවර ජනතාවට බෝට්ටු නැති වුණා, දැල් ආම්පන්න නැති වුණා. අපි බෝට්ටු ගන්න අවශ්‍ය සියලු සහන දෙන්න කටයුතු කළා. ඇයි ඒ? අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක්. වැවිලි ක්ෂේත්‍රයට අදාල භෝග විනාශ වුණා. අපි වැඩිම සහන දෙන්න තීරණය කළා. එහෙම තමයි ආණ්ඩු.
වැඩ කරන ජනතාවගේ ගෙවල් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අපි මොකක්ද කළේ? විනාශ වුණ හැම ගෙදරකටම, විනාශ වේ යැයි අනුමාන කරන හැම ගෙදරකටම ලක්ෂ පනහක දීමනාවක් දෙන්න තීරණය කළා. කුඩා හෝ විනාශයක් වෙලා තියෙනවා නම් ලක්ෂ පහක වන්දියක් දෙන්න තීරණය කළා.
පාසල් දරුවන්ගේ පොතපත අහුවෙලා තිබ්බනම් රුපියල් 25000ක් දෙන්න තීරණය කළා. එහෙමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හැදුවම රටේ ජනතාවට ප්‍රතිලාභ එන්නේ.
දැන් යුද්ධයක් මතුවුණා. අපිට වළක්වගන්න බැරි විදියට තෙල් මිල ඉහළ ගියා. වළක්වගන්න බැරි විදියට අනෙකුත් බලශක්ති මිල ඉහළ ගියා. හැබැයි අපි මොකක්ද කළේ? අද හැම ඩීසල් ලීටරයකටම රුපියල් සීයක සහනාධාරයක් මේ ආණ්ඩුව ලබාදෙනවා. අද ඩීසල් ලීටරයක් 382යි. අපි ඒ සීය දුන්නේ නැත්නම් 482යි. ඇයි අඩු කරන්නේ. ජනතාවගේ ආණ්ඩුවක්.”

























