බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වර්ණ ප්රදානය හා ප්‍රදර්ශනය, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07/28) පැවැත්විණි. මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා විසින් වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් අධ්‍යක්ෂකවරුන් හා විශ්‍රාමික නිලධාරීන් අගය කරමින් වර්ණ ප්රදානය කිරීමද සිදුවිය.
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට වසර 50 ක් පිරීම නිමිත්තෙන් (1973/01/23 සිට 2023/01/23) සංවත්සරයට සමගාමීව රෝහලේ දැනට වැඩ කරන සහ විශ්‍රාම ලැබූ සේවකයන් ඇගයීම අරමුණු කොට ගනිමින් මෙම වර්ණ ප්රදානය හා ප්‍රදර්ශනය ක්‍රියාවට නංවන ලදී. සංවත්සරයට සමගාමීව විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර ලේ දන් දීමේ වැඩසටහන්, වැඩිහිටි රෝගී සත්කර සේවා, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
මෙලෙස සේවකයන් අගය කිරීමට විශේෂ වූ කාරනා නම්,
පසුගිය කාල වකවානුවේ මුළු රටම වෙලා ගත් කොරෝනා වසංගත කාලසීමාවේ කොරෝනා වැළඳුණු රෝගීන් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය තුළ සිදු කරන ලද මෙහෙය අති විශාල වේ. ඒ අනුව 2020 නොවැම්බර් 18 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 1500කට බටහිර ඖෂධ වෙනුවට ආයුර්වේද ඖෂධ රෝගීන්ට ලබා දීම සිදුකළ අතර, නේවාසික කොරෝනා ප්‍රතිකාර ඒකකය, 2021 ජුනි 10 අරඹමින් බටහිර ඖෂධ වලින් තොරව ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආයුර්වේද රෝහල ලෙස බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහල රෝගීන් 1218 කට ප්‍රතිකාර කරමින් ආරම්භ කරන ලදී.
ඒ කරන ලද්දා වූ ඒ අනභිභවනීය සේවය අගය කරනු වස්, කාර්ය මණ්ඩලය ඇගයීම,
විශ්‍රාම ගිය වෛද්‍ය අධිකාරීවරුන් හා වෛද්‍යවරුන්, සුළු සේවකයන් ඇගයීම වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා, පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය, බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, හිටපු ආයුර්වේද කොමසාරිස්තුමා, තංගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂකතුමා, තංගල්ල ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකමතුමා, අපරැක්ක ආයුර්වේද රෝහලේ අධ්යක්ෂවරුන්, තංගල්ල කලාපයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු වෛද්‍ය වරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය, අවට ආයුර්වේද රෝහල්වල වෛද්‍යවරුන්, අවට පාසල්වල විදුලිපතිවරුන්, විශ්‍රාමික වෛද්‍යවරුන්, හෙදියන් සුළු සේවකයන්, දරුවන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.






















