ආසාදිතයින් සියල්ල මිනුවන්ගොඩ පොකුරෙන් – යුද හමුදාපති
මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව හඳුනාගැනුණු නව කොවිඩ් නයින්ටීන් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හැර වෙනත් සමාජයේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයින් 1083 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.
එම ආසාදිතයින් හා සම්බන්ධ වූ ආශ්‍රිතයින් සියලුදෙනා හඳුනාගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ “දෙරණ අරුණ” වැඩසටහන සමඟ එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.
පසුගිය 4 වනදා එම රෝහලට ඇතුලත් කළ දැඩි සත්කාර ඒකකයේම සේවය කළ හෙදියකගේ දියණියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බව පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණ 7196 ක් සිදුකර තිබේ.
මෙම සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් සිදුකළ වැඩිම පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 465 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත අතර තවදුරටත් මධ්‍යස්ථාන 89 ක පුද්ගලයින් 10,181 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව සඳහන් වේ.






















