සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්.
“රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.
සෞඛ්‍ය සේවාවේ සැබෑ මානව සම්පත් අවශ්‍යතා හඳුනාගෙන විධිමත් බඳවා ගැනීම් සිදුකිරීම රජයේ ප්රතිපත්තියයි.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය, මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් සේවා කාණ්ඩ හතරක් යටතේ නිලධාරීන් 223 දෙනෙකුට නව පත්වීම් ප්රදානය කිරීම අද (14) පෙරවරුවේ සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්රදානය කෙරිණි.
ඒ අනුව, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 36 දෙනෙකුට ද, ගබඩාකරු තනතුරු සඳහා 27 දෙනෙකුට ද, සුළු සේවා පාලක තනතුරු සඳහා 06 දෙනෙකුට ද, සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා 154 දෙනෙකුට ද වශයෙන් පත්වීම් පිරිනමන ලදී.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට වසර දෙකකට පෙර අද වැනි දිනක පැවැති මහ මැතිවරණයෙන් ලැබූ ජනවරමට වසර දෙකක් සපිරෙන දිනයේදී නව නිලධාරීන් පිරිසකට රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව සැලසීම සතුටට කරුණක් බවත්, රාජ්‍ය සේවයට එක්වන එම සියලු නිලධාරීන් ගෞරවයෙන් පිළිගන්නා බවත් පැවසීය.
අතීතයේදී ඇතැම් රාජ්‍ය සේවා බඳවා ගැනීම් මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ ක්‍රියාවලියක් බවට පත්ව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන්ම ප්‍රාථමික සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී පවා එවැනි දේශපාලන බලපෑම් පැවති බව සඳහන් කළේය. එම දේශපාලන සංස්කෘතියෙන් බැහැරව රාජ්‍ය සේවයේ සැබෑ මානව සම්පත් අවශ්‍යතා සහ රටේ ආර්ථික හැකියාව සැලකිල්ලට ගනිමින් විධිමත් බඳවා ගැනීම් සිදුකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා අවස්ථාවේදී ඖෂධ හිඟය මෙන්ම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් හිඟයද බරපතළ අභියෝගයක්ව පැවැති බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඇතැම් තනතුරු සඳහා වසර හයක හතක කාලයක් තිස්සේ බඳවා ගැනීම් සිදුකර නොතිබූ බව සඳහන් කළේය. එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා ස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය නොලැබීම සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවටද බලපෑම් එල්ල කර තිබූ බව පැවසීය.
දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ නිරීක්ෂණ චාරිකාවලදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වූ බවත්, එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය සේවයේ මානව සම්පත් අවශ්‍යතා සමාලෝචනය කර බඳවා ගැනීම් සිදුකිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
එම ක්‍රියාවලිය යටතේ අවශ්‍ය අනුමැතීන් ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් විධිමත්ව ක්‍රියාත්මක කර ඇති අතර, අනුමැතිය හිමිවූ තනතුරු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් මේ වන විට අවසන් කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය. එම කාර්යය සාර්ථක කරගැනීම සඳහා කැපවූ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ටද සිය ස්තූතිය පළ කළේය.
තවද, මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නව ස්ථිර පත්වීම්ලාභීන්ටද රජය ක්‍රියාත්මක කරන වැටුප් සංශෝධනවල ප්රතිලාභ හිමිවන බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබාදීමට නියමිත බව පැවසීය.
මේවන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඇතුළු මෙම සියලු වියදම් පියවනු ලබන්නේ ජනතාව ගෙවන බදු ආදායමෙන් බව අවධාරණය කළේය. එබැවින් මහජන මුදල් පිළිබඳ මනා අවබෝධයකින් හා වගකීමකින් යුතුව රාජකාරි ඉටු කිරීම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වගකීමක් බවද පැවසීය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුද අදහස් පළ කළහ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ.පී. යෝගචන්ද්‍ර සහ හර්ෂණී සිරිනාම, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන වසන්ත කුමාරසිංහ සහ දිනිප්‍රිය හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිමේෂා නානායක්කාර යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය






















