ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා පවසයි.
ඔහු ඒ බව පවසා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (10) පැවති හමුවකදීය.
අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම හමුව සිදුවිය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද එහි සභාපතිවරයා පෙන්වා දී තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහායවීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බවද සභාපතිවරයා පවසා ඇත.
ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ලබාදී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි.
මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව ඔහු පෙන්වා දී තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නගාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව ජනාධිපතිවරයා සමග පැවති එම හමුවේදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට සිය ප්‍රශංසාව පළ කරන බවය.
හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, මේ සඳහා සහාය වන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබේ.
මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ ද සතුට පළ කර ඇති ජනාධිපතිවරයා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පෙන්වාදී ඇත.






















