2025 අගෝස්තු 11 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්*ජාතිය ඇමතීමට පාර්ලිමේන්තු පැමිණි ජනපති ගම්මන්පිලව ඇමතුවේ ඇයි?*පසුගිය 7 වන දා ජාතිය අමතන්න පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ජාතිය ඇමතීම පැත්තක තියලා මාව අමතනවා අපි දැක්කා. ඒ කතාව පුරාම සම්පූර්ණ නමක් කිව්වා නම් කිව්වේ මගේ නම විතරයි. මගේ නම කියන අතරේ “ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයක් තිබෙනවා. රාජ්‍යයේ ඇතුලේ ඉඳගෙන රාජ්‍යයේ පිට ඉඳගෙන නිලධාරින්, පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ පිට ඉඳගෙන දේශපාලකයින් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරනවා නම් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න පියවර ගන්නවා” කියලා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාව අසාගෙන සිටි ඕනෑම කෙනෙකුට දැනෙන්නේ එතුමා දැඩි පීඩනයකින් දැඩි ආතතයකින් දැඩි අනාරක්ෂිත බවකින් ඉන්නවා කියලා. ජනාධිපතිතුමාගේ කතාව සම කළ හැක්කේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාව ඝාතනය කළාට පසු ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ කතාවට විතරයි.ජනාධිපතිතුමනි, ඔබතුමා ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය කියන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන එක නම් ඔබතුමා ද ඇතුළුව ආණ්ඩුවේ නායකයින් කියන පච කතා පච බවට ඔප්පු කරන එක නම් ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු හෙලිදරව් කරන එක නම්, ඔව්, ගම්මන්පිල ඒ කුමන්ත්‍රණයේ පිටිපස්සේ හැංගිලා නොවේ එලිපිට ඉදිරියෙන්ම ඉන්නවා.ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලයේ නම් ආණ්ඩු පෙරලන රට අස්ථාවර කරන කුමන්ත්‍රණ ගණනාවක් කලා. 1971 දී 1987 දී 2006 දී වගේම 2022 දී කලේ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ. ඒ විතරක් නොවේ. 2006 අග දී මහින්ද ජනාධිපතිතුමා කොටින්ට එරෙහිව යුද්ධය පටන් ගත්තාම ඒක කඩාකප්පල් කරන්න අයවැය පරදා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලේත් ඔබතුමාලා. ගෝඨාභය ජනාධිපතිතුමා කෝවිඩ් මර්දනය කරන්න වෑයම් කරන විට ලෝකය පුරාම විපක්ෂ ඒ වෑයමට තමන්ගේ ආණ්ඩු වලට උදව් කරන විට වැඩවර්ජන උද්ඝෝෂණ කැඳවමින් රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ආර්ථික අර්බූදය විසඳන්න ආණ්ඩුව දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින විට ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ඒ නිසා ආණ්ඩු පෙරලන්න හදනවා, රට වට්ටන්න හදනවා කියන චෝදනා අපට නගලා ඔබතුමාගේ මට්ටමින් අපිව මනින්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.ඔබතුමා පාර්ලිමේන්තු කතාවේත් ලොකු පචයක් අත හැරියා. ඔබතුමා කියනවා “උදය ගම්මන්පිල ප්‍රකාශයක් කරලා තිබෙනවා ආණ්ඩුව විසින් තමයි හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කියලා. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයක් නිසා” කියලා. ඒක පචයක් ජනාධිපතිතුමනි. අධිකරණයෙන් බනිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් දුන්නේ නෑ. රහස් පොලිසිය බී 8016/2019 යටතේපොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා වල 2010 ජූලි 25 දින සිට 2011 මාර්තු 30 දක්වා කාල සීමාව තුල නාවික හමුදාපති ලෙස, නාවික බුද්ධි අධ්‍යක්ෂවරු ලෙස සහ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ අයගෙන් ප්‍රකාශ ලබා ගන්න අවශ්‍යයි කියලා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අයව පොලිසියට ගෙන්වන්නේ ප්‍රකාශ ලබා ගන්න කියලා. ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කලේ ඇප ලබා දෙන්න බැරි වෙන්න. ඒ නිසා ආණ්ඩුව විසින් නාවික හමුදාපතිව බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන ඒක අධිකරණය පිට පටවන්න එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා.පොලිසියේ මහත්වරු බොරු ගොතලා අධිකරණයට ඉදිරිපත් කලා විතරක් නොවේ, ඔබතුමාටත් බොරු කියලා නොමග යවලා තිබෙනවා. ඒකනේ නාවික හමුදාපතිතුමා අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයකින් කියලා ඔබතුමා කියන්නේ. පොලිසියේ ලොකු පුටුවල ඉන්නා අය මැතිවරණයට කලින් හිටියේ මාලිමා වේදිකාවේ. ඔබතුමාලා රැස්වීම් ගානේ බොරු කියනවා අසාගෙන ඉඳලා දැන් ඒ අයත් බොරු කියනවා වෙනුවට බොරු ලියන්න පටන් අරන්. ඒ නිසා තමයි පච වැලවල් ලියලා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔබ කියන්නේ බොරු නම් පාර්ලිමේන්තුවේ කිව්වාට කමක් නෑ. ඒත් ඔබ කියන්නේ ඇත්ත නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න කියලා ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අවවාදයක් දුන්නා. ඒ අනුව ඔබතුමා වසර 24ක් පුරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු කියලා පිලිගැනීම ගැන අපට සතුටුයි. වසර 24ක් පුරා ඔබතුමා පාර්ලිමේන්තුවේ කළ කතා එකතු කරලා “නූතන ගජබින්නාලංකාරය” කියලා ඔබතුමාට පොතක් නිකුත් කරන්න පුළුවන්.මට ඔබතුමාටත් කියන්නේ තිබෙන්නේ ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට දුන් අවවාදයමයි. මම කිව්වේ බොරු නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න. ඔබතුමා මට උත්තර දුන්නේ අවම වශයෙන් මගේ කතාව අහන්නෙත් නැතිව. ඒ කතාව ඇහුව්වා නම් ඔබතුමා තිත්ත ඇත්ත තේරුම් ගනීවි. නාවික හමුදාපතිට එරෙහිව සීඅයිඩිය බොරු චෝදනා ගෙතුවේ කොහොමද කියන එක මම සාක්ෂි සහිතව ඒ කතාවේ ඉදිරිපත් කලා.*ඇමති වසන්ත අගමැතිනියට අපහාස කලේ මාලිමා – ජවිපෙ ගැටුම නිසා*පසුගිය අගෝස්තු 6 දා අගමැතිතුමිය පාර්ලිමේන්තුවට කිව්වේ සුප්‍රීම් සැට් චන්‍ද්‍රිකාව විදේශීය ආයෝජනයක් මිස රාජපක්ෂවරු මහජන මුදල් යොදවූ ව්‍යාපෘතියක් නොවේ කියලා. එතුමියගේ ප්‍රකාශය වැරදියි කියලා වසන්ත සමරසිංහ ඇමතිතුමා කියනවා. අගමැතිනිය කියූ දේ වැරදි වුණත් ඒක නිවැරදි කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. එක්කෝ අගමැතිනියම ඒක නිවැරදි කරන්න ඕනි. නැතිනම් ජනාධිපති නිවැරදි කරන්න ඕනි. කිසිම රටක කිසිම කලක අගමැතිනිය කළ ප්‍රකාශයක් කණිෂ්ඨ ඇමතිවරයෙකු නිවැරදි කරන්නේ නෑ.වසන්ත ඇමතිතුමා අගමැතිතුමිය ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත් කලේ ආණ්ඩුව ඇතුලේ තිබෙන මාලිමා – ජවිපෙ ගැටුම ප්‍රදර්ශනය කරමින්. ඔබට මතක ඇති “ළඟදීම ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට මැයි මාසයේ දී බිමල් ඇමතිතුමා ප්‍රකාශ කලා. ඇත්තටම අද ජවිපෙට ඕනි ඇමති බිමල්ව අගමැති කරලා ටිල්වන් සිල්වා ලේකම්තුමා ඇතුළු පැලවත්තේ බලය ආණ්ඩුව තුල තහවුරු කර ගන්න. නමුත් ජනාධිපතිතුමා හේතු හයක් ඉදිරිපත් කරලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එක – ආණ්ඩුවේ ඡන්ද බැංකුවේ ලොකුම කුට්ටිය වන මාලිමා ඡන්ද කුට්ටියේ නායිකාව අගමැතිනිය වීම. දෙක – බටහිර තානාපති කාර්යාලවල ආණ්ඩුව තුල නියෝජනය අගමැතිනිය වීම. තුන – ආණ්ඩුව තුල ප්‍රභූ පන්තියේ නියෝජනය අගමැතිනිය වීම. හතර – ආණ්ඩුව තුල රාජ්‍ය නොවන සංවිධානවල නියෝජනය අගමැතිනිය වීම. පහ – සමරිසි ප්‍රජාවේ නියෝජනය අගමැතිනිය වීම. හය – විද්වත් සහ වෘත්තීය නියෝජනය අගමැතිනිය වීම. ජනාධිපති දැනටමත් ජවිපෙන් සිටින නිසා අනෙකුත් සියළුම බලවේග නියෝජනය කරන්න හරිනි මැතිනිය අගමැති තනතුරේ සිටිය යුතු බවයි ජනාධිපතිතුමාගේ මතය වෙලා තිබෙන්නේ. ජනාධිපතිගේ ස්ථාවරය නිසා වියරු වැටුණු ජවිපෙ නායකයින් අගමැතිතුමියට අපහාස කරලා එතුමිය ඉල්ලා අස්වෙන තැනට තල්ලු කරන්න උත්සාහ කරන බවයි අපට පේන්නේ.එදා අගමැතිතුමිය ඉදිරිපත් කළ ඉලක්කම් වැරදියි කියලා වසන්ත ඇමතිතුමා කිව්වාට නිවැරදි තොරතුරු මොනවාද කියා එතුමා කිව්වේ නෑ. ඒ වගේම වැරදි තොරතුරු දුන්නු අයට දඬුවම් කළ බව කිව්වේ නෑ. ඒ නිසා හුදු අගමැතිතුමියට අපහාස කිරීමේ චේතනාවෙන්ම මේ ප්‍රකාශය කලා කියලා අපට සැක හිතෙනවා. ඉලක්කමක් එහෙට මෙහෙට වුණා කියමු. ඒත් මේක විදේශීය ආයෝජනයක් බවටත් ලංකාණ්ඩුව හෝ චිචී පුතා හෝ ඒකට ආයෝජනය කර නොමැති බවටත් අගමැතිනිය කළ ප්‍රකාශයේ වරදක් නෑනෙ. මාලිමා බොරුව පත්තු වෙන්නේ එතැනින්නෙ. අරගල සමයේ දී වගේම මැතිවරණ වේදිකාවේත් කිව්වේ ආණ්ඩුවේ මුදල් ඩොලර් මිලියන 380ක් වැය කරලා චචී රොකට් එකක් උඩු ගුවනට යැව්වා. දැන් ඒක හොයා ගන්නවත් නෑ කියලා.වැඩේ වැරදුනා කියලා තේරුණාම එක බොරුවක් වසා ගන්න තව බොරු ගණනාවක් කියනවා. සුප්‍රීම් සැට් නාලිකාව පාඩු පිට දුවනවාලු. ඒක බොරුවක්. හරි පාඩු පිට දුවනවා කියමුකෝ. පෞද්ගලික ආයෝජනයක් පාඩු ලැබුවත් ලාභ ලැබුවත් ආණ්ඩුවට මොකෝ. සුප්‍රීම් සැට් නාලිකාවට අභ්‍යවකාශයේ ලංකාවට වෙන් කරපු අවකාශය දීලා තිබෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවලු. එතකොට 2006 දී ජවිපෙට ගුවන් විදුලි සංඛ්‍යාත ලබා දුන්නේ ටෙන්ඩර් කැඳවලා ද ? තෙල් නලයක් එලන එක මාලිමා ආණ්ඩුව ඉන්දියාවට දුන්නේ ටෙන්ඩර් කැඳවලාද? තෙල් පිරිපහදුවක් ඉදි කරන්න චීනයට දුන්නේ ටෙන්ඩර් කැඳවලා ද? වසන්ත සමරසිංහ ඇමතිතුමනි, නානවා කියලා ඔච්චරටම නාන්න එපා ජල සන්නිය හැදේවි.






















