කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත.
සංවර්ධන ප්රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කර තිබුණි.
භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීම එම බළකායේ වගකීම විය.
භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගතකිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වියයුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය යෝජනා කර තිබේ.
අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුය.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,






















