කොරියාවේ සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන එමට පියවර ගන්නවා – නිමල් සිරිපාල
සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇති වූ ගුවන් ගමන් නතරවීම නිසා මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකිව සිටින අතර ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නාතුරු කොරියාවේ රැකියා සඳහා යාමට නියමිත ඊළඟ ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම එරටට යැවීමට නොහැකිව සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.
අද (18) කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කිම් වොන් සොක් (Kim Won Seok) මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර කම්කරු අමාත්‍යාංශයේ දී ඒ බව සාකච්ඡා කර ඇත.
මෙහිදී, කිම් වොන් සොක් මහතා අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ කොරියානු විභාග සහ පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවය.
ඒ අනුව, කොරියානු රැකියා අපේක්ෂිතයින් 200 දෙනෙකු පුහුණු කළ හැකි විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් හෝමාගම ප්‍රදේශයේ පිහිටුවීමට ද අමාත්‍යවරයා එකඟ වී ඇත.






















