හලාවත, බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 15 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට පියවර ගෙන තිබේ.
පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ එම කාන්තාවගේ ඥාතීන් සහ අසල්වැසියන් ඇතුළු ඇසුරු කළ පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.
ඔවුන් සියලු දෙනාම නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය සදහන් කළාය.
මේ අතර ඊයේ (27) බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත් 29 හැවිරිදි ගැබිනි කාන්තාව මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙත යොමු කර තිබේ
ඩුබායි හි සිට පසුගිය මාසයේ මෙරටට පැමිණි එම කාන්තාව නිරෝධායන කාලසීමාව අවසන් කර ඇයගේ නිවෙස තුළ නිරෝධායනයට යොමු කර තිබුණි.
ඒ අතර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 308 දෙනෙකු අද (28) සිය නිවෙස් කරා යැවූ බව බලධාරීන් පැවසීය.
ඔවුන් තවත් දින 14ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ අධික්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
මේ වන විට පුද්ගලයින් 33, 695 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
නිරෝධායන මධ්‍යස්ථාන 69ක් තුළ පුද්ගලයින් 7122දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.






















