කොළඹ නැව් තටාකාංගණයේ තවත් පිරිසකට කොවිඩ්
කඳාන, ලෙකෝ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
සෞඛ්‍ය අංශ පැවසුවේ ලෙකෝ ආයතනයේ තවත් සේවකයන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවය.
මේ අතර දිවුලපිටිය රෝහලේ සුළු සේවකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ආසාදිතයාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති අතර රෝහලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවය.
මේ අතර මීගහතැන්න විද්‍යාරත්න පිරිවෙනේ හිමිනමකට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත.
පොලීසිය පැවසුවේ එහි වැඩසිටි භික්ෂූන් වහන්සේ නවදෙනෙකු ඇතුළු ආශ්‍රිතයන් 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවය.
එමෙන්ම කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් 11කට වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුවේ තහවුරු විය.
ඒ අනුව, ඉන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 16 කි.
මේ අතර කොළඹ වෝඩ් පෙදෙසෙහි පදිංචි නැව් සාමාගමක සේවය කරන පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු කොළඹ නැව් තටාකාංගණයේ වෛරස ආසාදනය වූ පුද්ගයන්ගේ ආශ්‍රිතයෙක් බවය.
එසේම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නවජනපදය යන ගම්මානවලින් කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගයන් 25ක් හමුවීමත් සමග එම ප්‍රදේශ ඊයේ පස්වරුවේ හුදකලා කෙරුණි.
එය තවදුරටත් ක්‍රියාත්මක අතර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.
මේ අතර සංචරණ සීමා කෙරුණු කුලියාපිටිය ගයියාල, ඌරුපිටිය, ඇන්නරුව සහ පල්ලේවල ප්‍රදේශවල එය තවදුරටත් ක්‍රියාත්මකය වේ.
කුලියාපිටියෙන් සොයාගත් ආශ්‍රිතයන් අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ 7 දෙනෙකු සහ විවාහ උත්සවයකට සහභාගි වූ ආශ්‍රිතයින් 04 ක් ඇතුළත්ය.
විවාහ උත්සවයට සහභාගී වූ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකෙරුණු අතර ඉන් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුවේ තහවුරු විය.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකුට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ.






















