කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරයේදී ගරු අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ කතාවදිනය : 2025 ජූලි 17වේලාව : ප.ව. 7:40ස්ථානය : සංගම් උත්සව ශාලාව 1, ITC රත්නදීප, කොළඹ———————————————————————————————————–කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් මැතිතුමනි,කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, අතිගරු ජූලි චුන්ග් මැතිනියනි, අතිගරුවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,සුබ සන්ධ්‍යාවක් වේවා, කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය සමරන අද දින ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ඔබව ඇමතීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක් වෙනවා. මෙම වැදගත් අවස්ථාව සංවිධානය කිරීම සහ දශක ගණනාවක් පුරා කලාපීය සහයෝගීතාව, සංවර්ධනය සහ හවුල්කාරී සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ විසින් දැරූ අඛණ්ඩ ප්‍රයත්නයන් වෙනුවෙන් කොළඹ සැලැස්මේ ලේකම් කාර්යාලයට හෘදයාංගම කෘතඥතාව පළ කිරීමෙන් මාගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. අද අප සමරන්නේ හුදෙක් 74 වසරක කාලය ගෙවී යාමක් පමණක් නොවේ. සංස්කෘතිය, පරිමාණය හෝ සම්පත් වල විෂමතා තිබියදීත් රටවල්වලට පොදු අරමුණක් උදෙසා එකට එක් වීමට ඇති හැකියාව පිළිබිඹු කෙරෙන බලවත් අදහසක් අප සමරනවා. එකිනෙකාට සහයෝගය දැක්වීම, එකිනෙකාගෙන් ඉගෙනීම සහ එක්ව සංවර්ධනය කරා ගමන් කිරීම යන අරමුණ, කොළඹ සැලැස්ම ආරම්භ කළ දින සිට එහි ප්‍රමුඛතාවක්ව පවතිනවා. කොළඹ සැලැස්ම විශේෂ සංක්‍රාන්ති කාලයකදී, එනම් 1951 දී කොළඹ දී පිහිටුවනු ලැබුවා. බලාපොරොත්තු, අභියෝග සහ නව ඉදිරි මාවතක අවශ්‍යතාවය පෙරදැරි කරගනිමින් ආසියාවේ බොහෝ රටවල් යටත් විජිත පාලනයෙන් මිදෙමින් සිටියා. දැනුම හුවමාරු කර ගැනීමට, ශක්‍යතා සංවර්ධනයට සහ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් රාජ්‍යයන් එක් කරන කලාපීය ප්‍රතිචාරයක් ලෙස කොළඹ සැලැස්ම නිර්මාණය වුනා. කොළඹ සැලැස්මේ ලේකම් කාර්යාලයේ ආරම්භක සාමාජිකයෙකු සහ සත්කාරක රට ලෙස, මෙම විශිෂ්ට සංවිධානයේ ගමන් මගෙහිදී අප ඉටු කළ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හතකින් ආරම්භ වූ මෙය විවිධ හා ගතික ආසියා-පැසිෆික් කලාපය නියෝජනය කරන සාමාජික රටවල් 28කින් සමන්විත ශක්තිමත් සංවිධානයක් දක්වා වර්ධනය වී තිබෙනවා.වසර ගණනාවක් පුරා, කොළඹ සැලැස්ම එහි ප්‍රමුඛ වැඩසටහන් හරහා යහපත් ප්‍රතිඵල ගණනාවක් අත්කරගෙන තිබෙනවා: • දහස් ගණනක් වෘත්තිකයන් පුහුණු කිරීම සහ ජාතික මත්ද්‍රව්‍ය උපාය මාර්ග සඳහා සහාය වී ඇති මත්ද්‍රව්‍ය උපදේශන වැඩසටහන. • විශේෂයෙන් කුඩා හා සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල රාජ්‍ය ආයතන ශක්තිමත් කර ඇති ශක්‍යතා වැඩසටහන. • ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට පාරිසරික අවදානම් සඳහා සූදානම් වීම සහ ඒවාට අනුවර්තනය වීම සඳහා සහය වී ඇති පරිසර හා දේශගුණික විපර්යාස වැඩසටහන.• කාන්තාවන් සවිබල ගැන්වූ, සියල්ල ඇතුළත් සංවර්ධනය ප්‍රවර්ධනය කළ සහ අසමානතාවය සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන. මීට අමතරව, මැනිලා හි පිහිටි කොළඹ සැලැස්ම පුහුණු විද්‍යායතනය, කලාපය පුරා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ලබා දීම සඳහා සහය වී තිබෙනවා. මේවා හුදෙක් සංවිධානයේ ජයග්‍රහණ පමණක් නොව, සංවර්ධනය වූ ජීවන තත්ත්ව, ශක්තිමත් වූ ප්‍රජාවන් සහ යහපත් වූ අනාගතයක් නියෝජනය කරනවා.නෝනාවරුනි මහත්වරුනි,වර්තමාන ලෝකයේ, කලාපීය සහ ගෝලීය සහයෝගීතාවය ඵලදායී පමණක් නොව, අත්‍යවශ්‍ය තත්ත්වයක් වනවා. දේශගුණික විපර්යාස, ඩිජිටල් බෙදීම්, සෞඛ්‍ය අර්බුද සහ සමාජ අසමානතාවයන් වැනි අප මුහුණ දෙන අභියෝග සංකීර්ණ සහ අන්තර් සම්බන්ධිත වෙනවා. කිසිදු රටකට ඒවාට තනිවම මුහුණ දිය නොහැකියි. එක් රටක් සංවර්ධනය වන විට, එය සමස්ත කලාපයම නඟා සිටුවීමට ඉවහල් වන බව කොළඹ සැලැස්ම අපට සිහිපත් කර දෙනවා. අප දැනුම හුවමාරු කරගනිමින් එක්ව වැඩ කරන විට, අප ශක්තිමත්, අභියෝගයන්ට ඔරොත්තු දෙන අනාගතයක්ද ගොඩනඟනවා. අපගේ සාමූහික ජයග්‍රහණ සමරන මෙම අවස්ථාවේදී, අප අනාගතය දෙසද බැලිය යුතුයි. 1951 සිට ලෝකය විශාල පරිවර්තනයන්ට ලක්ව තිබෙනවා. කොළඹ සැලැස්මේ මීළඟ අදියර ලෙස, • කොතරම් දුරස්ථ වුවත්, සෑම ප්‍රජාවකටම, තාක්ෂණය සහ කුසලතා සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීමේ ඩිජිටල් ඇතුළත් කිරීම. • විශේෂයෙන් අධ්‍යාපනය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය හරහා තරුණයින් සහ කාන්තාවන් සවිබලගැන්වීම. • වසංගත රෝග සහ පාරිසරික හායනයේ සමාජ-ආර්ථික බලපෑම් ඇතුළුව ගෝලීය අර්බුදවලින් යළි යථා තත්ත්වයට පත් වීම.කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.විශේෂයෙන් තරුණයින් අතර, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම අප එක්ව මුහුණ දිය යුතු හදිසි අභියෝගවලින් එකක් වෙනවා. බොහෝ සාමාජික රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ද, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව, පවුල්, ප්‍රජාවන් සහ ජාතික ස්ථාවරත්වයට බලපාන සමාජ අර්බුදයක් බවට පත් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් අහිමි වන සෑම ජීවිතයක්ම ඉටු නොවූ සිහිනයක්, සැබෑ නොවූ අනාගතයක් වෙනවා.මත්ද්‍රව්‍ය උවදුර නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පමණක් නොව ජාතික හදිසි අවස්ථාවක් බව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කර තිබෙනවා. පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම සඳහා රජය පුළුල් පරාසයක ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනවා. එසේම, අප විශේෂයෙන් අපේ තරුණයින් ඉලක්ක කර ගනිමින් පූර්ව මැදිහත්වීම්, දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ ප්‍රජා පාදක පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. විශේෂයෙන්, මෙම සාමූහික ප්‍රයත්නයේදී පන්සල්, පාසල් සහ සිවිල් සමාජය සම්බන්ධ කර ගනිමින් ප්‍රජා මට්ටමින් සදාචාරාත්මක නායකත්වයක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් ඉස්මතු කර තිබෙනවා. සෞඛ්‍ය ගැටලුවල සිට පවුල් බිඳවැටීම්, අපරාධ සහ ආර්ථික පරිහානිය දක්වා වූ මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම් සමාජයේ සෑම කොටසක්ම අත්විඳින බැවින් මෙම පරිපූර්ණ ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙනවා.මෙය කිසිදු රටකට තනිවම මුහුණ දිය හැකි අභියෝගයක් නොවේ. අධ්‍යාපනය තුළින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම ශක්තිමත් කිරීම, උපදේශනය සහ පුනරුත්ථාපනය සඳහා ආයෝජනය කිරීම සහ වඩාත් උපායමාර්ගික, සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් අප මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා. සහයෝගීතාව වර්ධනය කිරීම, නිසි පිළිවෙත් හුවමාරු කර ගැනීම දිරිමත් කිරීම සහ කලාපය පුරා විහිදුනු ශක්තිමත් සෞඛ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධති සංවර්ධනය කිරීම සඳහා සහාය වීම මගින් කොළඹ සැලැස්මට මෙම උත්සාහය සඳහා නායකත්වය දිය හැකි වෙනවා. දැනටමත් මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම සඳහා ක්‍රියාකරන වෘත්තිකයන් 7,000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීම, සංස්කෘතික වශයෙන් අදාළවන ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීම සහ සාමාජික රටවල් කිහිපයක ජාතික මත්ද්‍රව්‍ය උපාය මාර්ග නිර්මාණය කිරීම සඳහා කොළඹ සැලැස්මේ ඖෂධ උපදේශන වැඩසටහන සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙම වර්ධනය වන තර්ජනයට පිළිතුරු ලෙස වඩාත් පුළුල් හා එක්සත් කලාපීය ප්‍රතිචාරයක් ගොඩනගා ගත හැකි ශක්තිමත් පදනමක් මෙම ජයග්‍රහණ සපයනවා. අතිගරුවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,කලාපය පුරා සංවිධානයේ බලපෑම් සහගත කාර්යයන් සක්‍රීය කිරීම සඳහා වසර ගණනාවක් පුරා ත්‍යාගශීලී දායකත්වයක් ලබා දුන් කොළඹ සැලැස්මේ සියලුම අරමුදල් හවුල්කරුවන්ට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අනාගතය දෙස බලන විට, මෙම උත්සාහයන් තිරසාරව පවත්වා ගැනීමට සහ පුළුල් කිරීමට අපගේ දිගුකාලීන හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහ නවමු සහයෝගය අත්‍යවශ්‍ය වනු ඇතියි. කොළඹ සැලැස්ම කලාපීය සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් ලෙස අඛණ්ඩව ක්‍රියා කරන බව සහතික කරමින්, මෙම සාමූහික මෙහෙවර සඳහා සියලුම සාමාජික රටවල් සිය කැපවීම නැවත තහවුරු කිරීම සම්බන්ධයෙන් සලකා බලනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මහලේකම්වරයාට, ලේකම් කාර්යාලයට, අපගේ සාමාජික රටවලට, හවුල්කරුවන්ට සහ මේතාක් සංගමය පැමිණි ගමනට දායක වූ සෑම පුද්ගලයෙකුටම, ස්තූතියි.කොළඹ සැලැස්මේ විකසනය වන අභිලාෂයන් සඳහා අපගේ කැපවීම සහ ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා සාමූහිකව වැඩ කිරීමේ අපගේ අධිෂ්ඨානය ඉදිරි වසර ගණනාවකදීද ශක්තිමත්ව පවතිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අරමුණ සඳහා ඔබ සමඟ එක්ව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා.



























