අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින්නේ 2016 සිට 2020 දක්වා බඳවා ගැනීම් සිදු නොකළ නිසයි; ගුරු-විදුහල්පති පත්වීම්, උසස්වීම් විෂමතා විසඳන්න විශේෂ කමිටුවක්; පිරිවෙන් සහ රජයේ අනුමත පෞද්ගලිත පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක් – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින්නේ, 2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂවල බඳවා ගැනීමේ නිවේදන ප්‍රසිද්ධ නොකිරීම නිසා බව,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 2020.06.30 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 442, සීමිත තරඟ විභාග මඟින් සම්පූර්ණ කිරීමටත්, ජ්‍යෙෂ්ඨතා සහ කුසලතා පදනම මත පුරප්පාඩු 67ක් සම්පූර්ණ කිරීමටත්, ගැසට් දැන්වීම් මඟින් බඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත පදනම මත නිලධාරීන් 113ක් බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනයද 2021.07.16 නිකුත් කර ඇති අතර, ඒ අනුව ඉදිරියේදී තරඟ විභාග පවත්වා සුදුස්සන් 3 ශ්‍රේණියට බඳවාගෙන පුරප්පාඩු පුරවන බව ඔහු සඳහන් කළේය.
කෝවිඩ් වසංගතය නිසා විභාග දෙපාර්තමේන්තුව ප්‍රමුඛතාවය අනුව 5 ශිෂ්‍යත්ව, උසස් පෙළ ආදි විභාග පවත්වන නිසා ඉන් අනතුරුව මෙම විභාග කටයුතුත් අවසන් කිරීමට නියමිතය. ගුරු විදුහල්පති විවිධ පත්වීම්, උසස්වීම්, විෂමතා ආදී ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව මේ වනවිට තොරතුරු ලබාගැනීමේ කාර්යයේ නිරතව සිටින බවත්, එහි නිර්දේශ ලැබුණ පසු කඩිනමින් එම ගැටළුද විසඳන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ, පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට 2022.02.08 දින පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු, ඒවායේ සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව, පුරප්පාඩු ආදිය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය විමසා තිබිණි.
අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“අවුරුදු 24ක්, ඒ කියන්නේ බී.සී.පෙරේරා වැටුප් කොමිසමෙන් පස්සේ දීර්ඝ කාලයක් ආණ්ඩු ආවා ආණ්ඩු ගියා. අවසානයේදී ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නයට මැදිහත් වී දැවැන්තම මුදලක් එනම් බිලියන 30ක වැය ශීර්ෂයක් යොදවලා මේ අය වැය ලේඛනයෙන් මුදල් ඇමතිතුමා එම ප්‍රශ්නයට ආරම්භක විසඳුමක් ඇති කරල තියෙනවා. විදුහල්පතිවරුන්ගේ මෙම විෂමතාවය ගැන විදුහල්පති සංගම් සමඟ ගිය සතියේ අප සාකච්ඡා කළා. ඒ අනුව අපි බලාපොරොත්තු වනවා, ඒ මම කලින් සඳහන් කරපු කමිටුව ම ඒ ගැන සාකච්ඡා කරල ඒ සම්බන්ධව ඇති වෙලා තිබෙන ගැටළු සඳහා නිර්දේශයන් ලබා දෙයි කියල. ඒක මම දැනුම් දුන්නා. එකඟතාවයකට පැමිණුනා. ඒ වගේම තමයි අනෙක් කාරණා සම්බන්ධයෙනුත් ඒ කමිටුවේ ඒ නිර්දේශයන් ආවට පස්සේ කටයුතු කරන්න පුළුවන්.”
“ ඒ වගේම ගුරු විදුහල්පති සේවාවන්හි සිදු කළ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන, අමාත්‍ය මණ්ඩල තීරණය පිරිවෙන් ආචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්, සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්සඳහාද අදාළ කරගැනීමට මම, අධ්‍යාපන අමාත්‍ය විදියට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත වුණා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළා.






















