ජනපති ජෛව විවිධත්වය පිළිබද රාජ්‍ය නායක සමුලුව අමතයි
ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි.
2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේජෛව විවිධත්වය පිළිබඳ සංකල්පයයි. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වයේ ඇති වූ සීඝ්‍ර පරිහානිය මධ්‍යයේ වුවද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විස්තීරණ ජීව ගුණය රැකගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැප වී සිටින්නීය.
සොබාදහම සහ මිනිසුන් අතර සම්බන්ධතාව සහ සමකාලීන ගෝලීය පාරිසරික පාලනය අතර පරිවර්තනීය වෙනසක් කිරීමෙහි තීරණාත්මක අවශ්‍යතාවක් පවතී.
ගරු මැතිඳුනි, ගෞරවනීය නියෝජිතවරුනි,
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය “නිල් ප්‍රඥප්තිය” (Blue Charter) 2018 දී පිළිගත් අතර ඒ අනුව කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය “නිල් ප්‍රඥප්තියේ”ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය සපයන්නෙමු.
තවද, තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදී සම්මත විය. ලෝක නායකයන් වශයෙන්, මානව වර්ගයාගේ තිරසාරත්වය තහවුරු කරමින් වඩා ප්‍රශස්ත ආකාරයෙන් අප නයිට්‍රජන් කළමනාකරණය කළ යුතු වන්නෙමු.
ශ්‍රී ලංකාව යුනෙස්කෝ ස්වභාවික උරුමයන් දෙකකට : මධ්‍යම කඳුකරයට හා සිංහරාජ වැසි වනාන්තර රක්ෂිතයට නිජ භූමියවෙයි. අපේ තවත් ස්ථාන හයක් තෙත් භූමි පිළිබඳ රම්සාර් ප්‍රඥාප්තියෙන් පිළිගැනීමට ලක්ව ඇත.
අපේ අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයට දායක වන මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට හා තිරසාර ලෙස කළමනාකරණයට ශ්‍රී ලංකාව තරයේ කැප වී සිටී.
නගර සහ නාගරික ප්‍රදේශ ප්‍රතිනිර්මාණය කිරීමේදී පවා හැකි උපරිම ආකාරයට පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම කෙරෙහි අපි සැලකිලිමත් වූයෙමු. නගර මධ්‍යයේ කුඩා වැසි වනාන්තර අත්දැකීමක් ජනිත කරමින් නගරවල විශේෂයෙන් අපගේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා ඒ අවට අප විසින් නිර්මාණය කර ඇති තෙත් බිම් උද්‍යාන විවිධ පැළෑටි හා සත්ව විශේෂ රාශියක නිජ භූමිය වේ.
ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබුණේ පාලකයා කිසි විටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියලුම ජීවීන් වෙනුවෙන් එහි භාරකරු පමණක්ය යන සංකල්පය මතය.
අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය තුළ මගේ රජය අනුගමනය කරන මූලධර්මය මෙයයි.
ගරු මැතිඳුනි, ගෞරවනීය නියෝජිතවරුනි,
මේ පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුද භාරකරුවන් වශයෙන් අපට හැකි උපරිමයෙන් අපගේ ආරක්ෂාව යටතේ ඇති දෑ රැකගනිමින් අනාගත පරපුරට භාර කිරීමට අප අධිෂ්ථාන කරගත යුතුය.






















