සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ජල සම්පාදන මණ්ඩලය අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව භාර ගන්නා විට රුපියල් මිලියන 4,000කට වැඩි ලාභයක් ලැබූ ආයතනයක්, 2025 වසරේ මුල් භාගය වන විට ලාභය රුපියල් බිලියන 17.7 ක්. ඔවුන්ගේ පිරිවැටුප මිලියන හතලිස් එක්දහස් පන්සියක් වෙනවා.ඒ වගේම බිලියන 18.74 ක ලාභයක් ලබා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ආයතනය තුළ පානීය ජලය පිරිසිදු කිරීමට අවශ්ය ක්ලෝරීන් සහ ඇතුළු රසායනික ද්රව්යවල මාස හයක සිට පැවති තොග මේ වන විට මුළුමනින්ම අවසන් වී විශාල හිඟයක් මතු වී තිබෙනවා. මීට පෙර ආනයනය කරන රසායනික ද්රව්යවල ප්රමිතිය අඹතලේ පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කළ අතර, එහිදී ප්රමිතියෙන් තොර ද්රව්ය ප්රතික්ෂේප වූ නිසා දැන් අඹතලේ පරීක්ෂණාගාරයට සෘජුව යැවීම නතර කර රත්මලාන පරීක්ෂණාගාරය හරහා පරීක්ෂණ පවත්වන බව සඳහන් වෙනවා. මූල්ය තැන්පතු තිබියදීත් ක්ලෝරීන් ගෙන් වීමට කටයුතු නොකිරීම නිසා ඉදිරියේදී කල්පැන ගිය ක්ලෝරීන් තොග භාවිත කිරීමට ඉඩ ඇති බැවින්, ජනතාවට පානීය ජලය ලබාදීමේ වගකීම ඉටු කරමින් වහාම ක්ලෝරීන් ආනයනය කිරීමට මැදිහත් වන ලෙස රජයට අනතුරු අඟවනවා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් සිදුකරන්නේ නැහැ, නමුත් වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විපක්ෂයට සහ සජිත් ප්රේමදාස මහතාට චෝදනා කිරීමට කාලය වැය කරනවා. අවුරුදු දෙකක් ගතවී තිබියදීත් ආණ්ඩුවට රටේ ප්රශ්න කළමනාකරණය කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්යාංශයෙන් ඩොලර් මිලියන 2.5 ක් සහ එන්ඩීබී බැංකුවෙන් රුපියල් බිලියන 14ක් අතුරුදහන් වීම මෙන්ම රක්ෂණ සංස්ථාවට දූෂිත සභාපතිවරයෙකු පත් කිරීම වැනි මූල්ය පාලනයේ බරපතල බිඳවැටීම් සිදුව තිබෙනවා. එසේම, කැස්බෑව ආසනයේ පෞද්ගලික හෝටලයකදී මාලිමා ක්රියාකාරීන් රැස්කර ගම් මට්ටමින් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන්ගේ නම් ලැයිස්තු ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා, ඒ වගේම මාධ්යවේදීන් පවා මර්දනය කළ හැකි පනත් ගෙනෙමින් රටේ සංවර්ධනය වෙනුවට මර්දනයක් සිදු කිරීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා.
ඊට අමතරව, බහලුම් 323 ට චෝදනා ලැබු පුද්ගලයා ජනාධිපති කාර්යාලයට සහ ගල් අගුරු වංචාව සිදුවන විට සිටි චෝදනා ලැබූ අමාත්යාංශ ලේකම් මොරටුව විශ්වවිද්යාලයේ උපකුලපති ධුරයට පත්කර තිබෙනවා, ඒ වගේම ආණ්ඩුව සුර්ය විදුලි බලය නගා සිටුවන්න කිසිවක් සිදුකරලා නැහැ. ඒ් වගේම සීනොපැක් හම්බන්තොට තෙල් පිරිපහදු ව්යාපෘතිය , අදානි ඩොලර් මිලියන 434ක ව්යාපෘතිය සහ ඩොලර් මිලියන 331ක චීන ආයෝජනය හකුලාගෙන යාම වැනි ආයෝජන බිඳවැටීම් සිදුව තිබෙනවා. ඒ වගේම පොළොන්නරුවේ ගොවීන්ගේ වී සඳහා රුපියල් 120ක මිලක් දෙන බව පැවසුවද රුපියල් 80 ටවත් වී මිලදී නොගැනීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. ආණ්ඩුව පිටරටින් සහල් ගෙන්වන්න කටයුතු කිරීමෙන් වී ගොවීස් දැඩි අසරණභාවයට පත්ව සිටිනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව චෝදනා 50කින් යුත් විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් තිබෙනවා, එම චෝදනාවලින් 48 ක්ම කථානායකවරයා පත්කළ කමිටු වාර්තාවෙන්ම තහවුරු වී තිබෙනවා. කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන පවත්වද්දී ඊට තොරතුරු නොදෙන ලෙස ඔහු කාර්ය මණ්ඩලයට දන්වා ඇති අතර, රජයේ නිල නිවාස 3ක් තබාගනිමින් කටයුතු කරන බවටත් කතානායකට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ නමුත් විශ්වාසභංගය නීතිපති වෙත යොමු කරමින් එය මඟහැරීමට ආණ්ඩුවට උත්සහ කරනවා.‘‘






















