ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබෙන බැවින් මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
කෙටි කාලීන අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
40%ක් පමණ වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර සහ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙෙළඳපොළක් රට තුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතු බවත් එසේ නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සඳහා දිරිගැන්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාව පෙන්වා දී ඇත.
විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත්, ආනයනය සීමා කළ යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.
ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයනය සීමා පනවා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අදාළ නිවේදනය වැඩිදුර කරුණු පහතින් සඳහන් වේ,
“දුප්පත්කම පිටුදැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
සමෘද්ධිලාභීන්ගේ පෝෂණයට ඒ අය දායක කරගත යුතුය. ගෙවතු වගාව සහ බිත්තර සඳහා කුකුලන් දීම මගින් ඔවුන්ගේ පෝෂණ සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකිය.”
ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ,
“භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයන් මුහුණ පාන ගැටළු සඳහා විසදුම් දීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.කොවිඩ් වසංගතයත් සමග ගොවි අස්වැන්න සහන මිලකට සෘජුව පාරිභෝගිකයා වෙතම ලබාදීමට රජය පියවර ගත්තේය.
එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අතරමැදියන්ගෙන් සූරා කෑම වළක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්,නාගරික ජනතාව ඉහළ ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ සඳහා සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.
රට පුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව සාකච්ඡා කළේය.
සතියකට වතාවක් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.”
එහිදි අදහස් දැක්වු ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හඳුනාගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමනාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගත යුතු බවය.
කව්පී, උඳු, රටකජු, තල, කුරක්කන් සහ ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවද එහිදි නිලධාරීන් පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂින්ද්‍ර රාජපක්ෂ, ලසන්ත අලගියවන්න මහත්වරු සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.






















