දෙවෙනි කොරෝනා රැල්ලේ අවදානම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කරයි
දෙවෙනි කොරෝනා රැල්ලේ අවදානම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ මෙසේය.
“විශේෂයෙන්ම මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ කෝවිඩ් පොකුර අද පෙරවරුව වෙනකොට 850 පැනලා තිබෙනවා. එය එන්න එන්නම වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව මේක එක පොකුරකින් ( ක්ලස්ටර් එකකින් ) සමාජ ව්‍යාප්තියකට යෑම නතර කිරීම. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්නට කැමතියි මේ වෙනකොට බරපතළ ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා.
ඒ තමයි කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය අද නිර්මාණය වෙලා නැහැ. කාන්තා රෝගීන් අතර ගර්භණී මව්වරුන්ට වෙනම ලබාදෙන විශේෂ ප්‍රතිකාර වැඩසටහන් අද ක්‍රියාත්මක වෙලා නැහැ. ඒවගේම මේ හදිසි අවස්ථාවේදී ප්‍රමාණවත් ශ්වසන ආධාරක ( වෙන්ටිලේටර්ස් ) සහ අනෙකුත් වෛද්‍ය උපකරණ වල අද දවසේත් හිඟයක් තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනය කිරීමේදී ගිලන් රථ තුළ මේ ආසාදිත අයත් නොවුණු අයත් එකට ප්‍රවාහනය කරන තත්වයක් බස් රථවලත් ගිලන් රථ වලත් ක්‍රියාත්මක වෙනවා.
හොඳට මතක තබාගන්න ඕනෙ මේ අටසිය ගාණ පළමු ස්පර්ශකයින්ගේ පමණයි. එතකොට දෙවැනි, තෙවැනි ස්පර්ශකයින් තවම හඳූනාගැනීම සහ පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම යටිතල පහසුකම් වලත් පිරිස් කළමනාකරණයේත් මානව සම්පතේත් අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයකුත් තිබෙනවා.
දැන් මේකෙ බරපතළම ප්‍රශ්නය, මම මේක කියන්න ඕනෙ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මැතිතුමා හෙළිදරව් කරලා තිබෙනවා මේ රෝගය වැළඳුණු අවස්ථාවේ මූලාශ්‍රය හොයාගෙන නෑ. අනෙකුත් හැම අවස්ථාවකදීම මූලාශ්‍රය හඳුනාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අලුත් අවස්ථාවේ වෛරස් සාන්ද්‍රණය අධික තත්වයේ තියෙනවා කියන එකත් ඒ වගේම මේ වෛරල් ලෝඩ් එක ( සාන්ද්‍රණය ) අධික වීම තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියනවා මේක වෙනමම ස්ට්‍රෑන්ඩ් එකේ වෛරසයක් කියලා.
ඉතිං මේ කරුණු කාරණාත් සමඟ මම ඔබතුමාට අවධාරණය කරන්න කැමතියි මේ පළවෙනි රෝගියාව හඳුනාගත්තේ බෝධික සමරසේකර කියන ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක්. දැන් ඒ සෞඛ්‍ය අංශයේ සියලු දෙනාම හඳුන්වන්නේ සුව විරුවන් හැටියට. දැන් මේ සුව විරුවන්වත් නිරෝධායනය කරනකොට ඒ අයට වෙනමම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒ අයවත් මේ ඔක්කොම එකට දාලා තමයි නිරෝධායනය කරන්නෙ. ඒ සුව විරුවන්ගේ ඉල්ලීමක් තියෙනවා එහෙම කරන්න එපා, ඒ අයගේ නිරෝධායනය වෙනමම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නය කියලා. ඒ වගේම මේ සුව විරුවන්ට ලබා දෙනවයි කියපු දීමනා ටික ලබා නොදීම තුළ ඒ අය මානසික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙලා තිබෙනවා.
ඒ වගේම අද දවසේ පිළිකා රෝගීන්ට ලබාදෙන බෙහෙත්වල බරපතළ හිඟයකුත් තිබෙනවා. කෙළින්ම රෝහල්වලින් කියනවා ෆාමසිවලින් මුදලට අරන් එන්න, ඊට පස්සෙ ඒ බෙහෙත් ටික ලබාදෙන්න කටයුතු කරන්නම් කියලා.
ගරු කථානායක තුමනි, මේ ප්‍රශ්නය තුළ තිබෙන බරපතළම ප්‍රශ්නය මොකක්ද දන්නවද ? දැන් සෞඛ්‍ය ඇමති තුමියක් ඉන්නවා. ඇමතිවරයෙක් ඉන්නවා. අපි ඊයෙ දවසෙත් බලාගෙන හිටියා මේ සභාවට ඇවිල්ලා මේ පවතින තත්වය පිළිබඳව, මේ කරුණු කාරණා පිළිබඳව මොකක්ද මේ සිදුවෙන්නෙ, මොනවද සත්‍ය දත්ත, මොකක්ද රජය ගන්න ක්‍රියාමාර්ගය … ඒක ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා. දැන් ඊයෙ දවසෙත් සෞඛ්‍ය ඇමතිතුමිය නැහැ මේ සභාවෙ. එතුමියට පුළුවන් විශේෂ ප්‍රකාශයක් කරන්න. අද දවසෙත් දැන් ආවෙ. එතුමියට යුතුකමක් තිබුණා දැන් බලන්න මේ ලිපිලේඛන ආදිය පිළිගැන්වීම තුළ එතුමියට පුළුවන් විශෙෂ ප්‍රකාශයක් කරන්න.
දැන් වර්තමානයේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා මේ පරික්ෂණ කරලා හඳුනාගත් රෝගීන්වයි එහෙම රෝගී නැති අයවයි දෙගොල්ලොන්ම එකට ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නය. ඉතිං ඒකට යම්කිසි විසඳුමක් ලබාදෙන්නට ඕනෙ. ඒ වගේම ජනවාරි මාසෙත් පෙබරවාරි මාසෙත් මේ කොරෝනාව ගැන කියනකොට හැමෝම සමච්චලයට ලක් කළා, ඒක විහිළුවකට ගත්තා. දැන් අපි හිතුවා මහමැතිවරණ සමයේ කිව්වා කෝවිඩ් ඉවරයි, සම්පූර්ණයෙන්ම විසඳලා තියෙන්නෙ. නමුත් අද කොහොමද මේ මහා රැල්ලක් ඇතිවෙලා තිබෙන්නෙ. ඒ වගේම ගරු කථානායක තුමනි, අපට දැනගන්නට තිබෙනවා පරීක්ෂා කරන්නෙ නැතුව ඉන්දියානු ජාතිකයෙක් හෝ ඉන්දියානු ජාතිකයින් කණ්ඩායමක් මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ සිදුවුණායි කියලා. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මේවා කටකතාද, සත්‍යයද, අසත්‍යයද මේ සියලු දේ පිළිබඳ මම බොහොම ගෞරවයෙන් කියනවා අපෙ ඇමති තුමියට කරුණාකරලා හෙළිදරව් කරන්න කියලා.
රටේ ජනතාව බලාගෙන ඉන්නවා මොකද්ද සිදුවෙන්නෙ කියලා. මොකද ඇත්ත වශයෙන්ම අපිත් ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට අපි උපරිම සහයෝගය ලබාදෙනවා. අපි උපරිම ශක්තිය ලබාදෙන්නම්. ( ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගෙන් බාධා ) මම කණගාටුවෙනවා මේ වගකිවයුතු ඇමතිවරුන් මේ කොරෝනාව විහිළුවකට අරගෙන තිබීම ගැන. මෙච්චර අටසිය ගාණක් කොරෝනා වැළඳිලා තිබෙනවා. ඔක්කොම 1600ක් පමණ පරීක්ෂා කරනවා. මේ පළමු ස්පර්ශකයින් විතරයි, දෙවැනි තෙවැනි ස්පර්ශකයින් තවම පරීක්ෂා කරලත් නැහැ. ඒත් මේ ආණ්ඩුවට මේක විහිළුවක් බවට පත්වෙලා. එහෙම හොඳ නෑ, මේ වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු සෞඛ්‍ය ඇමති තුමියගෙන් කරුණාකරලා මේක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න”.






















