ගලගෙදර පොලිස් වසමේ මහනුවර – කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේ දී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (23) රාත්‍රී 9.30ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කාර් රථයක් මතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබු කාර් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනෙක් හා කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර හා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් මෝටර් රථවලට බරපතළ හානි සිදුව ඇති අතර එක් මෝටර් රථයක් මව විසින් පදවා ඇති අතර එහි ද දියණියක් සිට ඇත.
අනෙක් මෝටර් රථයේ එකම පවුලේ පියා, මව හා දරුවන් දෙදෙනෙක් සිට ඇති අතර, පියා හෝටල් කළමනාකරුවෙක් බව “අද දෙරණ“ වාර්තාකරු පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 2ක් වන දියණිය හා වයස අවුරුදු 36ක් වන ඇයගේ පියා ය.
ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ගලගෙදර හා පේරාදෙණිය රෝහල්වල මෘත ශරීර තැන්පත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.






















