දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු!
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව “දිනන දකුණ” සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටී.
රජය සිය ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන විවේචන නිහඬ කිරීම සදහා සමාජය තුළ බල පවත්වන ජනප්‍රිය දූෂණ විරෝධී රැල්ල මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටින බව ප්‍රකාශ කොට සිටී.
මේ සදහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයයි.
අපහාසාත්මක හෝ වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව කටයුතු කරන්නට සිවිල් නීතිය තුළ අපමණ ප්‍රතිපාදන තිබියදී රජයේ උපදෙස් පරිදි පොලිසිය කටයුතු කරන ලද්දේ අපරාධ නීතිය යටතේ කාරියවසම් මහතාට දඩුවම් කරන්නටය.
මෙය දේශපාලන ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම පිළිබද පැහැදිලි උදාහරණයකි.
ආයතනික අඛණ්ඩතාව, ආර්ථික සාධාරණත්වය සහ දූෂණයට එරෙහිවීම බිංදුවේ ඉවසීම යන පොරොන්දු මත ගොඩනැඟුණු “අනුරවාදයේ” ජනවරමට මාස දහඅටක් ගතවන තැන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය විසින් මහජන බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම දිය කරමින් සිටී.
මතුපිටින් පෙන්වන සාර්ව ආර්ථික දත්තවලට පිටුපසින් ඇත්තේ එකතැන පල්වෙන සැබෑ ආදායම, අහස උසට ඉහළ ගිය දරිද්‍රතා රේඛාව සහ ජනතාවගේ පාරිභෝගික ශක්තිය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී දමන ලද වක්‍ර බදු පීඩනයකි.
අසාර්ථක වූ පොරොන්දු සහ වත්මන් පාලනය තුළ සිදුවන මහා පරිමාණ ටෙන්ඩර් අක්‍රමිකතාවලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා, රජය විසින් සූක්ෂ්ම මැකියාවෙලියානු මර්දනයක් ආරම්භ කර ඇති බව දිනන දකුන සාමුහිකයේ නිරීක්ෂණය වන්නේය.
සියළු විරෝධතා මැද අත්තනෝමතිකව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන එන්නේ අනාගත මර්ධනකාරී ක්‍රියාපිලිවෙතකට අවැසි අධිකරණමය ආවරණය ගැනීමට බව අප සාමුහිකයේ මතය වන්නේය.
තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීමේ මෙවලම් බවට පත්කරගෙන තිබේ.
එවැනි සුක්ෂම වැඩපිලිවලක් ඉදිරියට ගෙන යන අතරේම ජනාධිපති වරයා කියන්නේ නිවැරදිව තීරණය ගන්නා රහස් පොලිසියේ ප්‍රධානියා සහ අල්ලස් කොමිසමේ ප්‍රධානියා විපක්ෂයේ සතුරන් බවට පත්ව ඇති බවය.
නමුත් පැහැදිලි හා කටුක සත්‍ය වන්නේ නීතිය සාධාරණ බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් තහවුරු කිරීමට එම පුද්ගලයන් අසමත්වීමය.
අපගේ ඉහත නිරීක්ෂණය තහවුරු කරනු ලබන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ නීති ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට දරමින් සිටින උත්සාහයයි.
එම ක්‍රියාව නීත්‍යානුකූල ලෙස දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම සඳහා සිදුකළ බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙස අප සාමුහිකය සලකනු ලබයි.
රජයේ මෙම උත්සාහය ලෙස අප දකින්නේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය හුවා දක්වමින් පුද්ගලයන්ට තාවකාලික සිරදඩුවමක්, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ලබා දීමයි.
ඒ අනුව වර්තමානයේදී විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට උත්සාහ කිරීම රට තුළ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවට පත්ව තිබේ.
දූෂණ විරෝධී ජනප්‍රියතාවය කඩතුරාවක් කරගනිමින් විපක්ෂය සහමුලින්ම විනාශ කිරීමට දැරෙන මෙම උත්සාහය, වසර සියයක් පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපති පොලිස් රාජ්‍යයක් දක්වා තල්ලු කිරීමේ පූර්වගාමී පියවරක් බව “දිනන දකුණ” සාමූහිකය අනතුරු අඟවයි.
“පාලන තන්ත්‍රයක් ජනප්‍රියත්වයෙන් ගිලිහී යන විට එය පැවැත්ම සඳහා මර්දනය දෙසට යොමු වේ. රජය විසින් තම විරුද්ධවාදීන් එකින් එක ඉලක්ක කර මර්දනය කරද්දී ජනතාව නිහඬව සිටීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයේම විනාශයයි,” යනුවෙන් සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින්, රජයේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව නැගී සිටින ලෙසත්, සියවසක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීම සඳහා පෙරට එන ලෙසත්, රජයේ මෙම හැසිරීම දූෂණයට තිත තැබීමට හෝ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සපථ කරන රජයේ සැබෑ උවමනාව නොවන බවත්, රජය විසින් අටවමින් සිටින දේශපාලනික කෙමන පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසටත් “දිනන දකුණ” සාමූහිකය සමස්ත සමාජයෙන්, මාධ්‍යවේදීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.






















