Friday, July 24, 2026
HomeNEWSනඩු ප්‍රමාණය කඩිනමින් අඩුකර ගැනීමේ අභියෝගය විසඳීමට රජයේ අවධානය- අධිකරණ අමාත්‍ය

නඩු ප්‍රමාණය කඩිනමින් අඩුකර ගැනීමේ අභියෝගය විසඳීමට රජයේ අවධානය- අධිකරණ අමාත්‍ය


 නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ පවතින විශාලම අභියෝගක් .
 රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අද ( 24) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යතුමා මෙසේ ඳ පැවසීය.
පූගොඩ අධිකරණය විවෘත කර නඩු කටයුතු පවත්වාගෙන යෑමට ඉඩකඩ ලබා දීමට හැකිවීම පිළිඳව ඉතාමත් සතුටුයි. අතරමැද නවතා තිබු අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම මා මේ අමාත්‍යාංශය භාර ගන්නා විට හදුනාගත් ගැටලු අතරින් ප්‍රධානයි. ගාල්ල සහ පූගොඩ එවැනි ප්‍රධාන ව්‍යාපෘති දෙකක් බවට හදුනා ගනු ලැබුවා. පූගොඩ අධිකරණයේ උපදේශන සේවා සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පිරිනමලා තියෙන්නේ 2018 වසරේදීයි. 2020 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘති මේතරම් මන්දගාමීව සිදුවන්න හේතුව මොකක්ද කියලා මා සොයා බැලුවා. හිටපු පාලකයන් මෙම ආයතනවල ‍මුදල් මැතිවරණ ප්‍රචාරණවලට වියදම් කරලා මෙම ආයතන බංකොලොත් තත්වයට පත් කරලා තිබුණා. පෞද්ගලිකවම සොයා බලා අමාත්‍යාංශයේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයත් සමග මෙම අධිකරණ සංකීර්ණවල වැඩ අවසන් කර ගන්න ඇමතිවරයා විදිහට මට සිදු වුනා. මා පෞද්ගලිකව මේ ස්ථානය පරීක්ෂා කලා. පසුව ඉදිකිරීම් ඇමතිතුමා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නව සභාපතිතුමා සමග එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා දීමට අත්තිකාරම් මුදල් ලබා ගැනීමට අනුමැතිය ගත්තා.
මේ අධිකරණය පවත්වාගෙන ගියේ ඉතාමත් අඩු පහසුකම් සහිත ස්ථානයකයි. ඒ හේතුවෙන් විනිශ්චයකාරතුමන්ලා අධිකරණ කාර්ය මණ්ඩලය අපේ සහෝදර නීතිඥවරුන් සියලුදෙනාම දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ නිසාම විශේෂ අනුමැතීන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ මිලියන රුපියල් 441ක මුදලකට ආරම්භ කල මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් රුපියල් මිලියන 882.5 ක පිරිවැයකට අවසන් කිරීමට හැකි වුණා. ඒ අනුව මහල් 3කින් සමන්විත මේ ගොඩනැගිල්ලේ දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් හා පරිවාස කාර්යාලයක් ඇතුලු අධිකරණ සඳහා අවශ්‍ය බොහෝ පහසුකම් රැසක් සපයා තිබෙනවා.
එමෙන්ම මෙම අධිකරණයට ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා නවීන වීඩියෝ කට්ටල ලබා දිමටද කටයුතු කරනවා. මේ අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ පැරණි අධිකරණය තිබුණු නගර මධ්‍යයේ ඉතාමත් මාර්ග තදබදයක් පවතින ස්ථානයකයි. ඉදිරියේදී මේ මාර්ගය පුළුල් වීමත් සිදුවෙන බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මට දැනුම් දුන්නා. නීතිඥ මහත්වරුන්ගේ රථවාහන නැවැත්වීමට අවශ්‍ය පහසුකම් මෙම අධිකරණ පරිශ්‍රය තුළ නැහැ.
ඒ සඳහා අධිකරණයට යාබද ඉඩම පවරාගෙන පහසුකම් ලබාදීමට උපරිම උත්සාහයෙන් කටයුතු කරනවා. මේ අධිකරණයට ආසන්නව පවතින පර්චර් 80 ක පමණ ඉඩමක් තිබෙනවා. එම ඉඩම නීතිඥවරුන්ට කාර්යාල සංකීර්ණයක් ඉදි කර ගැනීම වෙනුවෙන් පවරා ගත හැකිද යන්න සොයා බලා කටයුතු කරනවා.
ඉදිරි අයවැයෙන් විනිසුරුතුමන්ලාට යම් යම් දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. දියුණු රටවල මිලියනයකට විනිසුරුවරුන් 40 හෝ 60 ක් ඉන්නවා. නමුත් අපේ රටේ ඉන්නේ මිලියනයකට විනිසුරුවරුන් 10 ක් පමණයි. දැනට අධිකරණවල පවතින ගැටළු වසර 10 ක් 15 ක් තිස්සේ සිට පවතින දේවල් බව කිව යුතුයි. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ප්‍රමාණයෙන් භාගයක් පමණ අඩුකර ගැනීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් කළ හැකියි. මසකට රස පරීක්ෂක වාර්තා 1500 ක් 2000 ක් පමණ ලබා ගැනීමට හැකි පරිදි කටයුතු කර තිබෙනවා. නඩුකාරතුමන්ලාට නීතිඥ මහත්ම මහත්මීන්ට සහ කාර්ය මන්ඩලයට මානසික ආතතියක් නොමැතිව ක්‍රියා කිරීමේ වාතාවරණයක් සකස් කළ යුතුයි.
අධිකරණ තුල ගොඩගැසී තිබෙන අති විශාල නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අඩු කරලා විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන විශාලම අභියෝගක් බව සඳහන් කළ යුතුයි. ඒ සඳහා ගරු අගවිනිසුරුතුමා ගෙන ඇති වැඩපිලිවෙලට අවශ්‍ය පහසුකම් ලබා දීම මගේ අමාත්‍යාංශයේ වගකීමයි. ඒ සදහා උපරිමයෙන් උත්සාහ කරනවා. නඩුවලින් ගොඩගැසී ඇති වැඩි ප්‍රමාණයක් තිබෙන කොළඹ අධිකරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කරන්න පහසුකම් ලබාදීමට අපේ රජය කටයුතු කලා. එසේම රට පුරා තිබෙන අධිකරණවලට මා පෞද්ගලිකව ගොස් නිරීක්ෂණය කර ඒ සඳහා අවශ්‍ය පහසුකම් හදුනාගෙන එම පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. පසුගිය දිනවල මා මාතර, රත්නපුර, යාපනය, මහනුවර කෑගල්ල වගේ අධිකරණ කලාප නිරීක්ෂණය කලා. ඉදිරියේදී ඉතිරි අධිකරණ කලාපවලටත් ගොස් විනිශ්චයකාරතුමන්ලාගේ සහ නීතිඥ ප්‍රජාව ඇතුලු සියලු දෙනාගේ අවශ්‍යතාවයන් මොනවාද කියලා සොයා බලා එම පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ගරු අගවිනිසුරුතුමා ඇතුලු අපේ විනිසුරතුමන්ලා සහ ඔබ සැම සමග එකතුවෙලා අපේ රටේ කාර්යක්ෂම හා ඵලදායී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කොට රට තුල නීතියේ පාලනය තහවුරු කරනවා.
ඒ සදහා ඇතැම් කණ්ඩායම් විවිධ ගැටලු ඇති කරනවා. පසුගියදා ඇතිවූ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හොදම උදාහරණයක්. ඒ අනුව එවැනි සිද්ධිවලට මුහුණ දීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා තියෙනවා. ඒ නිසා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරන්න ඊට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදීලා ඒ ආයතනය ශක්තිමත් කරන්න අප රජය කටයුතු කරනවා. ඒ වගේම අපේ රජය බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල නිලධාරීන්ට තිබෙන ගැටලු සහ අවශ්‍ය පහසුකම් ලබාදීම සදහා විශේෂයෙන් මේ අවස්ථාවේදී මැදිහත් වෙමින් සිටින බව සඳහන් කළ යුතුයි. ඒ අනුව දැනට 10,375ක් රදවන්න පුලුවන් බන්ධාගාරවල ඒවගේ හතර ගුණයක් විතර රඳවා තිබෙනවා. ඒ නිසා මෙම බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන වගේම නිවාස අඩස්සියේ නැත්නම් හවුස් ඇරෙස්ට් වැනි තාක්ෂණික ක්‍රම හදුන්වා දීමට ද අප කටයුතු කරගෙන යනවා. ගරු ජනාධිපතිතුමා ඇතුළු රජය විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු ඉතා කඩිනමින් නිරාකරණයක කරනවා බවට පණිවිඩය මා ලබාදෙනවා. ගරු විනිසුරතුමාන්ලා, කාර්ය මණඩලය නීතිඥ ප්‍රජාව ඇතුළු අධිකරණයේ ප්‍රධාන පාර්ශවකරුවන්ට මෙතෙක් කාලයක් කුලී ගොඩනැගිල්ල තුල නොයෙකුත් අපහසුතා මධ්‍යයේ මෙම අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සියලු අභියෝගවලට මුහුණ දෙමින් මෙම ව්‍යාපෘතිය අවසන් කර ගැනීමට සහය දුන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මා ස්තුති වන්ත වෙනවා. එසේම මේ කාර්යය මේ ආකාරයෙන් අවසන් කර ගැනීම සදහා විශේෂ කැපවිමෙන් කටයුතු කල ඉංජිනේරු කණ්ඩායම ඇතුළු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයත් මා සිහිපත් කරනවා. ඒ වගේම මෙම සියලු වැඩකටයුතුවලට මට සහායෝගය දෙන අධික රාජකාරී හේතුවෙන් මේ අවස්ථාව‌ට සහභාගී නොවන මාගේ අමාත්‍යාංශ ලේකම්තුමිය ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මැතිතුමියත් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට ලබාදුන් සහය සිහිපත් කරනවා. නඩුකාරතුමන්ලා නීතිඥ සංගමය අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු යැයිද අමාත්‍යතුමා සඳහන් කළේය.
සර්ව ආගමික ආශිර්වාද යටතේ නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම සිදු කරන ලදී. ව්‍යාපෘතියේ මුලික ඉදි කිරීම් අවසන් කිරීමට හා මුලික ඇස්තමේන්තුවේ අන්තර්ගත නොවු අභ්‍යන්තර නිමාවන් සහ අනුබද්ධ සේවා සැපයීම සම්පුර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 882.5 ක පිරිවැය ඇස්තමේන්තුව වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති අතර මේ වන තෙක් ව්‍යාපෘතියට රුපියල් මිලියන 585 ක් වැය කර ඇත. මහල් තුනකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක් නීති ආධාර මධ්‍යස්ථානයක් ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් හා පරිවාස කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ e – court ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කළමණාකරණය සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e – CMS) මෙම අධිකරණයට හඳුන්වාදී තිබේ.

2020 වර්ෂයේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් ආරම්භ කළද කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදි කිරීම ඇණ හිට තිබු අතර වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉදි කිරීම් නැවත ආරම්භ කර ඇත.

අධිකරණ සංකීර්ණය ඉදි කිරීමට වෙනත් ඉඩමක් සොයා ගැනීමට තිබු අපහසුතාවය අනුව අධිකරණය පැවති භූමියේ පැරණි අධිකරණ ගොඩනැගිල්ල ඉවත් කර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම ආරම්භ කර ඇති අතර, ඒ හේතුවෙන් තාවකාලික පදනම මත ලබාගත් ගොඩනැගිල්ලකට අධිකරණය විතැන් කිරීමෙන් අනතුරුව අධිකරණ කටයුතු පවත්වා ගෙන ගොස් තිබේ.

කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය හා මෑතකදී ඇති වු ඉන්ධන අර්බුද හමුවේ කර්මාන්තවලට හා ඉදි කිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදි කිරීම් වලට බාධා ඇති වු අතර, අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කරන ලදී.

පුගොඩ දිසා විනිසුරු මංජුල කරුණාරත්න සහ පුගොඩ නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ නිව්ටන් උස්වත්ත යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, ගම්පහ මහාධිකරණ විනිසුරු කණිෂ්ක රත්නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උපුල් අබේවික්‍රම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසුරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) සමන්ත විජයසිංහ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති, ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු, දොම්පේ ප්‍රාදේශිය ලේකම් එන්. ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි, ගම්පහ මහාධිකරණ විනිසුරුවරුන්, ගම්පහ දිස්ත්‍රික්කයේ දිසා අධිකරණවල විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, පුගොඩ අධිකරණ නීතිඥ සංගමයේ නිතීඥවරුන් ගම්පහ අධිකණ කලාපවල නීතිඥවරුන්, උසස් පොලිස් නිලධාරීන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මීගමුව සිදුවීම ගැන වැරදි තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යවලා- දයාසිරි

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වැරදි තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(24) පාර්ලිමේන්තුවේ දි...

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි.මේ වන විට මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන...

පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමති විජිත අතර හමුවක්

පකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පිලිපියේනේදී සිදුව තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img