නැගෙනහිර පළාතේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු කරන විට අතාවුල්ලා, හිස්බුල්ලා, අමීර් අලී, රිෂාඩ් බදියුදීන් ආදී එවක සිටි දේශපාලන නායකයන් ඊට එරෙහි වූ බව නැගෙනහිර පළාත් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා ඊයේ (12) පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේය.
හිස්බුල්ලා, අන්තවාදී සංවිධාන සඳහා අවි ආයුධ ලබාදුන් බවත්, සාමාන්ය වැසියන් අන්තවාදීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාගේ ආණ්ඩුබලය හේතුවෙන් බවත් ගුණතිලක මහතා ඊයේ (12) කොමිසම හමුවේ සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අවි ආයුධවලින් සන්නද්ධ වෙමින් පසුව මුස්ලිම් අන්තවාදය ප්රචාරය කිරිමට නැඹුරු වූ අතර ඔවුන් පසුව මංකොල්ලකෑම් වැනි දේ සිදුකිරිමට නැඹුරු වු බවත්, ඔවුන්ට විරුද්ධව සාමාන්ය වැසියන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කිරීමට බිය වුයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බවත් නැගෙනහිර පළාතේ හිටපු ජ්යෙෂ්ඨ පොලිස්පතිවරයා එහිදී පැවසීය.
නැගෙනහිර මාර්ගවල මැදකොටස ඉවත් කර එම ස්ථානවල රටඉඳි ගස් සිටුවීමට මූලිකත්වය ගනු ලැබුවේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවත්, එම කාලය තුලි සීඝ්රයෙන් පල්ලි ඉදිවිම සහ කාන්තාවන් කළු අබාය ඇඳීම වර්ධනය වූ බවත් ඔහු ආනාවරණය කළේය.
එමෙන්ම නැගෙනහිර පළාතේ ක්රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18 ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වූ අතර එම තරුණ පිරිස් අන්තවාදි ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් හා මිනීමැරුම් සිදු කළ බවද එඩිසන් ගුණතිලක මහතා පැවසුවේය.
එවිට කොමිසම විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුධ ලැබුණේ කෙසේද යන්නය.
බෂිර් සේගු දාවුද්ගෙන් මුදල් ලබාගෙන TMVP සාමාජිකයින් සහ කරුණා ගේ කණ්ඩායම් සතුව තිබු T-56 අවිආයුධ ඔවුන් ලබාගෙන ඇති බව ඒ මහතා අනාවරණය කළේය.
යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධාන නම් සංවිධාන තුළ පිබිදීමක් ඇති වූ බවත්, මොවුන් නීතිය පිළිපැදීමෙන් වැළකි හෙල්මට් භාවිතා නොකිරිම, කණ්ඩායම් වශයෙන් පොලීසියට පහරදීම වැනි ක්රියාවල නිතර වූ බවත් පැවසූ එඩිසන් ගුණතිලක මහතා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට යාමේදී ඊට අවස්ථාව හිමිනොවූ බවය.
මැතිවරණය වැනි හේතු මත ආයුධ අත්අඩංගුවට ගැනීම සිදුනොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදි සංවිධාන සඳහා ආයුධ ලබාදීම සිදුකළ බව ඒ මහතා සඳහන් කළේය.
මුස්ලිම් අන්තවාදය තවමත් පැතිර ඇත්දැයි රජයේ ජ්යෙෂ්ඨ අදිනීතීඥවරයා විමසූ විට ඊට පිළිතුරු දුන් එඩිසන් ගුණතිලක මහතා අන්තවාදී තර්ජන අවසන්ව නැති බවත්, අටුලුගම ඊට ආසන්නම හේතුව බවත් කියා සිටි අතර ඔහු පෙන්වාදුන්නේ පහරදීම් සඳහා මින් පෙර කිසිදිනක එළියට නොපැමිණි මුස්ලිම් කාන්තාවන් දැන් එසේ හැසිරීමට අන්තවාදි මතවාද හේතුවක් වී ඇති බවය.
මේ අතර, පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සක්ෂි ලබාදීමට එවක නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජගත් පී.විජේවීර මහතා සාක්ෂි ලබාදිමට පැමිණියේ ඊයේ පස්වරුවේය.
සාගල රත්නායක අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සෑම සඳුදා දිනයකදීම බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමක් පැවති අතර රාජ්ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊට සහභාගි නොවූ බවත්, පොලිස්පති හා නියෝජ්ය පොලිස්පතිවරුන් ඊට සහභාගි වූ බවත් ඒ මහතා පැවසීය.
එහිදී මෙරට මත්ද්රව්ය උවදුර, පාතාල උවදුර සහ ISIS උවදුර ගැන සාකච්ඡා කළ බව ඔහු අනාවරණ කළේය.
පත්විම් ලබා මාස පහකට පසු තමන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලටත් සහභාගි වූ අතර එම රැස්වීම මුලින් සතිපතා පැවතුණත් පසුව මාසයකට වරක් හෝ මාස එකහමාරකට වරක් වශයෙන් පැවති බවත් තමා අමාත්යාංශයෙන් ඉවත්ව යාමට පෙර අවසන් කාලය තුළ නොපැවති බවත් විජේවීර මහතා පැවසුවේය.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් සහ ඔහුගේ සොහොයුරු සයිනි විසින් තරුණ පරපුරට IS මතවාද සමාජ ජාල වෙබ්අඩවි සහ රහසිගත දේශන හරහා පවත්වන බවටත් නැගෙනහිර පළාතේ මෙවැනි තත්ත්වයත් පවතින බවටත් තොරතුරු ලැබී තිබූ බව පැවසූ ඒ මහතා, රාජ්ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ‘‘මෙවැනි දෙයක් රටේ මෝදු වෙනවා, සුපරික්ෂාවෙන් සිටිය යුතු යැයි” පැවසු බවත් අනාවරණ කළේය.
‘‘ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් කැඳවන්නේ ජනාධිපති. ජනාධිපතිට වේලාවක් නැතිවුණාම රැස්වීම් කල්දමනවා. අගමැති බොහෝ විට එක්වුණේ නැහැ, සමහර වෙලාවට කාර්යබහුලයි කියනවා, සමහර අවස්ථාවලදී රැස්වීමට එක්වුණත් අවසන් වනතුරු ඉන්නේ නැතිව පිටත්වෙලා යනවා,” යනුවෙන් මෙහිදී හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවසීය.
එසේම ආරක්ෂක මණ්ඩලයට මුල් කාලයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වූ නමුත් අවසාන කාලයේදී ඔහු නොපැමිණි බවත් , පෞද්ගලික මත ගැටුම් සහ ජනාධිපති සමග තිබූ විරසකවීම් නිසා ඔහු නොකැඳවූ බවත් හිටපු ලේකම්වරයා අනාවරණ කළේය.
කෙසේවෙතත්, ‘‘නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගත්තොත් අන්තර්ජාතික සහ මැදපෙරදිග රටවල නායකයින් අප සමග උරණ වෙනවා, ඒ නිසා රාජ්ය තාත්න්රික මට්ටමෙන් ගැටලු මතුවේ යැයි,” ආරක්ෂක රැස්වීම්වලදී ප්රකාශ වූ බව විජේවීර මහතා පැවසීය.
මෙහිදී කොමිසමේ සභාපති විනිසුරු,‘‘අන්තර්ජාතික ප්රශ්න ගැන විතරද, දේශිය වශයෙන් එල්ලවෙන ප්රශ්න ගැන කිව්වේ නැද්ද,” යනුවෙන් ඔහුගෙන් විමසීය.
‘‘අපිට තේරුණා යටි අරමුණක් තියෙනවා කියලා, මුස්ලිම් දේශපාලනඥයින්ගේ බලපෑම් මත එවැනි තීරණයක් ගත් බව නිලධාරීන් ලෙස අපිට හැඟීගියා. නමුත් අපිට ප්රකාශ කළේ නැහැ, අන්තවාදය සම්බන්ධයෙන් සෘජු තීරණ ගන්න පැවති රජයට ශක්තිමත් පිට කොන්දක් තිබුණේ නැහැ ” යනුවෙන් සාක්ෂි ලබාදෙමින් ඒ මහතා ප්රකාශ කළේය.






















