බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැලුම් ඉන්දික නොහොත් “කැවුමා”ගේ සහයකයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල, කොහුවල සහ තිස්සමහාරාම යන ප්රදේශවල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
මොවුන් තිදෙනා කැවුමා නමැති සංවිධානාත්මක අපරාධකරුට පොළොන්නරුව ප්රදේශයේ සිට අවස්ථා කිහිපයකදී සහල් අසුරණවල සගවා නීතිවිරෝධී ගිනි අවි සහ ජීව උණ්ඩ විශාල ප්රමාණයක් ලොරි රථවලින් කොළඹට රැගෙන ඒම සහ ඒවා කොළඹ හා දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදීම සඳහා ආධාර උපකාර ලබාදී ඇති බව සඳහන් වේ.
කඩුවෙල බස් නැවතුම්පල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් සැකකරු එම කටයුතු සඳහා තාක්ෂණික වශයෙන් සහය ලබාදී ඇති අතර සැකකරු සතුව තිබී ලැප්ටොප් පරිගනක 03ක් හා ජංගම දුරකථන 3ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.
නුගේගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු අදාළ ගිනි අවි රැගෙනඒමේ දී එම ලොරි රථ සඳහා වෙනත් වාහනවලින් ආරක්ෂාව සැපයීම, රැගෙන එනු ලැබු ගිනි අවි හෝමාගම ප්රදේශයේ නිවසක ස්ථානගත කිරීම සඳහා සහය වීම ආදිය සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
තිස්සමහාරාම ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු එම ගිනි අවි හෝමාගම ප්රදේශයේ පිහිටි සිය පුත්රයාගේ නිවසේ සගවා තැබීම හා කැවුමාගේ උපදෙස් මත එම ගිනි අවි අපරාධ කල්ලි වෙත බෙදාහැරිම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය..






















