පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවය.
ඒ අනුව නොවැම්බර් 08 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 09 වැනිදා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නොවැම්බර් 10 වැනිදා සහ 11 වනදා පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිතය.






















