Friday, September 4, 2026
HomeNEWSLatest Newsපාස්කු කොමිසමේදී පූජිත් පිළිනොගත් සහ පිළිගත් කරුණු දෙක

පාස්කු කොමිසමේදී පූජිත් පිළිනොගත් සහ පිළිගත් කරුණු දෙක

පාස්කු කොමිසමේදී පූජිත් පිළිනොගත් සහ පිළිගත් කරුණු දෙක

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්‍ත ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට පෙර එවකට හිටපු රාජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියේයැයි තමන් කිසි ලෙසකින් විශ්වාස නොකරන බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ජනාධිපති කොමිසම හමුවේ අද (10) එකොළොස්වන දිනටත් සාක්ෂිදෙමින් හිටපු පොලිස්පති සඳහන් කළේ සෑම තොරතුරක් පිළිබඳවම රටේ ප්‍රධානියා දැනුවත් කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම තොරතුර පමණක් දැනුවත් නොකළ බව තමන් පිළිනොගන්නා බවය.

මේ අතර, ‘හෙට ප්‍රහාරයක් එල්ලවනවා’ යැයි පාස්කු ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය තමන් දැනුවත් කර තිබියදීත් පොලිසිය සතු හදිසි අවස්ථාවල දී ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පිළිගෙන තිබේ.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශ අන්තවාදය සහ සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දිගින් දිගටම එකම දේ දැනුවත් කර තිබියදීත් නිද්‍රෝපගතව සිටියේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ තමන් නිද්‍රෝපගතව සිටියා යැයි කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිළි කරමින්, “මට ජාතික ආරක්ෂක කවුන්සිලය තහනම් කර තිබුණේ. කපිල වෛද්‍යරත්න මහතාගෙන් වෙනත් නිලධාරියෙකු එවන්නද අහපුවමත් අවශ්‍ය වුනොත් කියන්නම් කිව්වා. දේශපාලන පරිසරය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුව තුළම වූ ගැටීම් මේ සිදුවීමට ප්‍රබලව බලපෑවා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සෘජුවම රාජ්‍ය නායකයා සමග සම්බන්ධවෙලා හිටියේ. මම කතාකළාට කිසිම දෙයක් කිව්වේ නැහැ. මගහැරියා විතරයි. සමහරවිට ලද උපදෙස් නිසා වෙන්න ඇති. සිද්ධියක් වුණාම සම්පුර්ණ වගකීම පොලිස්පතිට පැවරෙනවා. නමුත් ඊට පෙර කිසිදු සම්බන්ධිකරණයක් පොලිස්පතිට නැහැ. රට ගැන සිතලා තීරණ ගතයුතු අය තීරණ නොගැනීම නිසයි මේ දේ වුණේ,” යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුනි.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සතුව හදිසි ආරක්ෂක සැළැස්මක් තිබුණේද යන්නය.

එයට පිළිතුරු දෙමින්, “සෑම පොලිස් ස්ථානයකම ආරක්ෂක පෙට්ටියේ තියෙනවා හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න සැළැස්මක්. මේ විදිහට පොලීසියේ එක එක මට්ටම්වලට තියෙනවා හදිසි අවස්ථාවල දී ක්‍රියාත්මක වෙන්න සැළැස්මක්. ඒ සැළැස්ම කාලාන්තරයක් පුරා පැවත ආ දෙයක්. පොලිස්පතිට වෙනම මෙහෙයුම් මැදිරියක් තිබුණා. ඒ මැදිරිය තුළ රටේ සියලුම පොලිස් ස්ථාන සමග එකවර ක්‍රියාත්මකවිමේ හැකියාවක් තිබුණා. නමුත් 2015 න් පස්සේ පොලීසිය විතරක් නෙමේ සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම වෙනත් ප්‍රමුඛතාවලට යොමුවුණා. ඒ නිසා මෙම හදිස්සි ආරක්ෂක සැලැස්මවල් ක්‍රියාත්මකවීම කෙරෙහි පුහුණුවක් ලබලා තිබුනේ නැහැ,” යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදී තිබේ.

එහිදී ජනාධිපති කොමිසමේ සමාජික කොමසාරිස්වරිය විමසා සිටියේ ප්‍රහාරයක් සිදුවන බවට වූ පෙර දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුර අප්‍රේල් 09 පොලිස්පතිවරයා වූ ඔබට ලැබීමෙන් පසු ඒ පිළිබඳ විශේෂ හදිස්සි ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කළේද යන්නය.

“නැහැ ස්වාමිනි, මේකටමයි කියලා විශේෂ ආරක්ෂක සැලැස්මක් හැදුවේ නැහැ. මොකද මේ 09 වෙනිදා ලද තොරතුර නිශ්චිත නොවුණ නිසා,” යැයි ජයසුන්දර මහතා පිළිතුරු දුනි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේ, “09 තොරතුර අමතක කරන්න, 20 සවස රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කතා කරලා හෙට ගහනවා යැයි කීවාට පස්සෙත් ඇයි ඒ වෙලාවෙම ඔහුව සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳවලා රැස්වීමක් තියලා හදිස්සි ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක නොකළේ,” යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා කියා සිටියේ, “ස්වාමිනි මට ඒ වෙලාවේ සාකච්ඡා කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මට තොරතුර දැනුම් දෙන්නයි ඕන වුණේ. ඒ නිසයි මම මා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දැනුවත් කළේ. කළයුතු රාජකාරිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දන්නවා. අනික 20 සවසත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මට කිව්වේ 09 තොරතුරේ Development එකක් හෙට මොනාහරි සිද්ධියක් වෙන්න පුළුවන් කියලා විතරයි. එකයි මම කිව්වේ නිලන්ත ඔයා නන්දන මුණසිංහට ගන්න. මාත් Follow කරන්නම් කියලා. අනික රාජ්‍ය බුද්ධි සේවයට ඒ වෙද්දිත් තමන්ගේ කියලා හොයාගත්තු නිශ්චිත තොරතුරක් තිබුණේ නැහැ. විදෙස් බුද්ධි තොරතුරට අමතරව. ඒ නිසයි එයාලා මේ තොරතුරු විධිමත්ව අවශ්‍ය අංශවලට යොමුකළේ නැත්තේ. කොහොම වුණත් මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක රාජ්‍ය නායකයාට නොකිව්වා කියලා,” යනුවෙනි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “බලාගෙන යනකොට ඔබ හැමතැනටම උප නිලධාරින් යොදවන එකනේ කරලා තියෙන්නේ. ඔබේ රාජකාරිය එතනින් ඉවරද..?”යන්නය.

“ස්වාමිනී මම පොලිස්පති හැටියට මෙහෙයුම්වලට යන්නේ නැහැනේ. මම කොහේ හරි ඉදලා මෙහෙයුම් මෙහෙයවන එකයි කරන්නේ. එකයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කළේ,” යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු දුනි.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් මස 20 දින ඔබ ක්‍රියා කළේ රටේ නීතිය හා සාමය දෙපාර්තමේන්තුව භාර ප්‍රධානියා ලෙසද, නැතිනම් පණිවුඩකරුවෙක් ලෙසද යන්නය.

එයට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා, “පොලිස්පතිත් සමහර අවස්ථාවල දී පණිවුඩකරුවෙක් වෙනවා. නමුත් ඔබතුමිය අදහස් කළ ආකාරයේ පණිවුඩකරුවෙක් නෙමේ.” යැයි පැවසීය.    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img