ඉතිහාසය පුරාම රට ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්රමසිංහ මහතා පමණක් බවත් එතුමා මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ පසුගිය ඉරිදා පැවැති බලපිටිය සහ රජ්ගම මැතිවරණ කොට්ඨාශවල එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීය.
රට ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට යළි නගා සිටුවන අභියෝගය බාර ගත්තේ රනිල් වික්රමසිංහ මැතිතුමා පමණයි. එතුමා බලයට ඇවිත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනියන සෑම අවස්ථාවකම එතුමාගේ කකුලෙන් ඇද්දා. අවසානෙදී එයින් වන්දි ගෙවන්න වුණේ අපේම රටේ මහජනතාවටයි.
ඒ නිසා ශ්රී ලාංකික මහජනතාව ඉතාම කල්පනාවෙන් මේ මොහොතේ වැඩ කළ යුතුව තිබෙනවා. රනිල් වික්රමසිංහ මැතිතුමා බාරගත්තේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණු රටක්. රටේ ආර්ථිකය කඩා වැටිලා ඒ අර්බුධය දේශපාලන, සමාජ අර්බුධයක් දක්වා දුර දිග ගිහින් තිබුණා. වගකීම් බාරගත යුතු අය වගකීම් පැහැර හැරියා. නමුත් රනිල් වික්රමසිංහ මැතිතුමා කෙසේ හෝ උත්සාහ කළේ වැටුණු ජාතිය යළි නඟා සිටුවීමටයි. එතුමාට එය කළ හැකි බව එතුමා දැනගෙන සිටියා.
ඒ වෙනුවෙන් එතුමා දිවා රෑ පුරා වෙහෙස වී කැප වුණා. අද එහි ප්රතිඵලය භුක්ති විඳින්නේ ශ්රී ලාංකික මහජනතාවයි. වැටුණු රට යළි නගා සිටුවන්න එතුමාට විශාල කාලයක් ගත වුණේ නැහැ. පෝලිම්වල දුක්විඳි ජනතාවට පෙට්ට්රල්, ඩීසල්, භූමිතෙල් පෝලිම්වල නොසිට මිල දී ගැනීමට හැකිවුණා.






















