Friday, August 21, 2026
HomeNEWSපූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 21 ක් ඉදිරිපත් වෙලා තිබුණා. කිසිම සංශෝධනයක් සම්බන්ධයෙන් මේ විධියේ පෙත්සම් බහුලතාවයක් අපි දැක්කේ නැහැ.

මේක ආරම්භය; අවසානය නෙවෙයි. තව සති දෙකක් තිබෙනවා පෙත්සම් ඉදිරිපත් කිරීමට. එතකොට ඒ සති දෙක අවසාන වෙනකොට පෙත්සම් කීයක් ලැබිලා තියේවිද? ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන සීමිත කාලය තුළ මේ පෙත්සම් කන්දරාව අහලා ඉවර කරන්න කාලය තිබේද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙන් පේනවා කෙතරම් තියුණු මතයක් සමාජය තුළ තිබෙනවාද කියලා.

අපේ පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණේ ඉතාමත් පැහැදිලි ස්ථාවරයක්. කරුණු දෙකයි:


පළවෙනි කාරණය තමයි මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණයක් ගන්න බෑ. මොකද, මේ සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරුන්ට විශාල වාසියක් ඇතිවෙනවා. එතකොට තමන්ගේ නඩුව තමන්ටම අහන්න බැහැ කියන මූලික සිද්ධාන්තය කෙළින්ම බලපානවා. මේක බාරදෙන්න ඕනේ ජනතාවට. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. දැන් ඉතාමත් පැහැදිලි නඩු තීන්දු මේ සම්බන්ධයෙන් තියෙනවා. අපි ඉදිරිපත් කරන නීති තර්කවලට පැහැදිලි පදනමක් තියෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව සඳහන් කර තියෙනවා, විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්න වයස පිළිබඳ වෙනසක් කරනවා නම් ඊට අනිවාර්යයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා.

අනිත් කාරණය තමයි අපි බොහොම පැහැදිලිව ඉල්ලා සිටිනවා පූර්ණ විනිශ්චය මණ්ඩලයක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් නඩුව අහන විනිශ්චයකාරවරුන් 13 දෙනාම මේ නඩුව අහන්න ඕනේ. කථානායකතුමාට යවන තීරණය ඒ සියලු දෙනාම සම්බන්ධ වෙලා ගන්න තීරණයක් විය යුතුයි. තෝරලා බේරලා විනිශ්චයකාරවරුන් අසවල් අය මේකට පත්කරනවා, අසවල් අය ඉවත් කරනවා කියන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන ස්ථාවරයේ තමයි අපි සිටින්නේ. ජනතාවගේ විශ්වාසය මේ සම්බන්ධයෙන් තියෙන්න ඕනේ.

මෙය මහා විනාශයක්. ශ්‍රී ලංකාවේ මෙතෙක් දුරට තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අතුගා දමන වැඩපිළිවෙළකට තමයි රජය අවතීර්ණ වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි ගෙනියන සටන කිසිසේත්ම උසාවියට සීමා වන්නේ නැහැ. අපි ජනතාව අතරට යනවා. විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් අපිට තියෙනවා. ඒ වගේම පොදුවේ දිවයින පුරා ජනතාව මෙහි ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපි ඉතාමත් සක්‍රීය ලෙස ඉදිරියට යනවා.

දැන් කවුරුහරි හිතනවා නම් මෙය සුළු දෙයක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස 65 ඉඳන් 67 දක්වා, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස 63 සිට 65 දක්වා වෙනස් කිරීම ගැන ඇයි මෙච්චර කලබල වෙන්නේ? ඇයි මේකට මේ විධියේ විශාල ප්‍රතිචාරයක් දක්වන්නේ කියලා, කිසිසේත්ම මේක විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්න වයස අවුරුදු දෙකක් වැඩි කරලා එතනින් නවතින වැඩපිළිවෙළක් නෙවෙයි. ඊට වඩා හුඟක් ගැඹුරට යන, අතිශයෙන් දරුණු, අපේ රටට බෙහෙවින් අහිතකර වැඩපිළිවෙළක්.

වෙන කවුරුවත් නෙවෙයි, මේ රටේ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා,  මාධ්‍ය හරහා ඒ මතය සමාජයට ගියා. ඒ හිටපු අග්‍ර විනිශ්චයකාරතුමා කියනවා, මේක විධායකය විසින් අධිකරණයට ලබා දීමට උත්සාහ දරන අල්ලසක් කියලා. “අල්ලස” කියන වචනය ඒ හිටපු අග්‍ර විනිශ්චයකාරතුමා පාවිච්චි කළා.

දැන් අපි මොහොතකටවත් හිතන්නේ නැහැ ආණ්ඩුවේ ඒ උත්සාහය සාර්ථක වේවි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අල්ලස් දෙන්න බැහැ, ඒගොල්ලෝ අල්ලස් භාරගන්නෙත් නැහැ. අපේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පිළිබඳව.

හැබැයි, ආණ්ඩුව දැවැන්ත උත්සාහයක් දරනවා බලපෑමක් ඇති කරන්න දැනට සේවය කරන විනිශ්චයකාරවරුන්ට. ඒක සක්සුදක් සේ පැහැදිලියි. ආණ්ඩුව පැත්තෙන් ඒ විශාල උත්සාහය ඒ සම්බන්ධයෙන් කෙරීගෙන යනවා. දැන් සේවය කරන විනිශ්චයකාරවරුන් නම්ම ගැනීමේ උත්සාහයක්.

දැන් ඒකෙන් වෙන හානිය මේකයි. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හා අනෙක් උසාවි සම්බන්ධයෙන් බෙදුණු කතිකාවතක් අපේ සමාජය තුළ ඇතිවෙලා තියෙනවා. මේ පැත්තෙන් අදහස් හා තර්ක, අනිත් පැත්තෙන් ඊට විරුද්ධ විග්‍රහයන් හා මතිමතාන්තර. බෙදීමක් සමාජය තුළ අධිකරණය ගැන! කතිකාවත සමාජය තුළ ඉතාමත් ප්‍රබල ලෙස අද ඇතිවෙලා තියෙනවා. ඒක කිසිසේත් හොඳ දෙයක් නෙවෙයි අධිකරණය සම්බන්ධයෙන්.

අනෙක් ආයතන සම්බන්ධයෙන් ඒක ස්වාභාවික දෙයක්. දේශපාලනයට සම්බන්ධ ආයතන, ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව. ඒවා සම්බන්ධයෙන් ඒ විධියේ විවිධ මත සමාජය තුළ ඇතිවීම ස්වාභාවිකයි. නමුත් අධිකරණය ඉන්නේ සුවිශේෂී තැනක. ඒ සියල්ලක්ම අභිභවා ඊට වඩා ඉහළ තැනක තමයි අධිකරණය සිටින්නේ. අධිකරණය සම්බන්ධයෙන් සමාජයේ ඇතිවිය යුත්තේ එකම මතයක්! ප්‍රතිවිරුද්ධ මත දෙකක් නෙවෙයි. අවිවාදයෙන්, කිසිම බෙදීමකින් තොරව සමාජයේ සියලු දෙනා තුළම දැඩි විශ්වාසයක් ඇතිවිය යුතුයි අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතී භාවය පිළිබඳව. කිසිම සැක සංකාවක් ඒ සම්බන්ධයෙන් ඇතිවීම කිසිසේත් යහපත් දෙයක් නෙවෙයි.

අන්න ඒක තමයි පළුදු වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ මේ හිතුමනාකාර, අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා. ඒකෙන් ඇතිවන හානිය පියවා ගැනීමට දීර්ඝ කාලයක් යනවා. එතකොට රජයේ මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන හානියක් අපි සියලු දෙනාම ගෞරව කරන ශ්‍රී ලංකා අධිකරණයට ඇතිවෙලා තිබෙනවා.

මේ දුර්විපාක කිසිසේත් රට තුළට සීමා වෙලා නැහැ. ජාත්‍යන්තරයටත් ඒක බොහොම ඍජුව බලපානවා. ශ්‍රී ලංකාවට හුදකලා වී ජීවත් වීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා අතිශයෙන් වැදගත් වෙනවා, විශේෂයෙන්ම මේ කාලයේ අපේ රටේ ආර්ථිකය මුහුණදෙන සුවිශේෂී දුෂ්කරතා නිසා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන නිලධාරිනියක් ඉන්නවා, මාගරට් සැටත්වේට් (Margaret Satterthwaite). එතුමියට බලය, වගකීම තිබෙනවා මහද්වීප පහක රටවල් 34 ක අධිකරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට, අධිකරණයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම පැවරෙනවා ඒ නිලධාරිනියට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන්.

එතුමිය බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තියෙනවා, ගරු ජනාධිපතිතුමාට යැවූ ලිපියක, රජය ගෙන යන මේ වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන්නේ නැහැ! පටහැණියි! ඒ නිසා මේකෙන් වැළකී සිටින්න, මේකෙන් හානියක් වෙනවා, මේක කරන්න එපා කියලා, එය බොහොම ප්‍රබල ආයාචනයක්. ඒ ලිපියෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ විෂය භාර නිලධාරිනිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම කරලා තියෙනවා.

දැන් මේ ගැන කිසිම තැකීමක් නැතිව, උද්ධච්ච විධියට මේක ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ තුළින් බොහොම දරුණු ප්‍රතිඵල අත්විඳීමට අපේ රටට අනිවාර්යයෙන් සිදුවෙනවා.

ඒ විතරක් නෙවෙයි, ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුවිශේෂී යන්ත්‍රණයක් ස්ථාපිත කරලා තියෙනවා. විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තියෙනවා අපේ රටේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කෙරිලා තියෙන චෝදනා විමර්ශනය කරලා ඒ වාර්තා සියලුම රටවල්වලට යැවීමට, අපේ රටේ විශේෂයෙන්ම රණවිරුවන්ට විරුද්ධව ක්‍රියාමාර්ග විදේශීය අධිකරණ හමුවේ ගැනීමට පදනමක් සකස් කිරීම සඳහා ඒ කරුණු හොයලා, විග්‍රහ කරලා වාර්තාවක් සකස් කිරීම දැන් මේ මොහොතේ කෙරීගෙන යනවා මානව හිමිකම් කවුන්සිලයේ.

මෙතෙක් දුරට අපි අපේ රට ආරක්ෂා කරන්න පළිහක් හැටියට අපි යොදාගත් තර්කයක් තමයි, අපේ රටේ තියෙනවා කවුරුත් ගරුකරන අධිකරණයක්. සම්පූර්ණයෙන්ම ස්වාධීනයි, කාටවත් බැහැ ඒකට බලපෑම් කරන්න. ඒ නිසා කිසිම බාහිර බලවේගයකට අපේ රටේ කටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට අවශ්‍යතාවයකුත් නැහැ, අපි ඒක පිළිගන්නෙත් නැහැ. ඒ මොකද, අවිවාදයෙන් ස්වාධීන ලෙස සලකන අධිකරණයක් අපේ රටේ තිබෙන නිසා. ඒක අපිට ලොකු ශක්තියක් වන නිසා.

දැන් ඒ තර්කය ඒ විධියට තවදුරටත් ඉදිරිපත් කිරීමට අපිට පුළුවන් වෙන්නේ නැහැ, ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් දෙදරා යනවා. ඒකෙන් අපි අසරණ තත්ත්වයකට පත්වෙනවා.

අතිශයෙන් භයානක ප්‍රතිඵල ජනිත වනවා මේ 22 වැනි සංශෝධනය හිතුමනාකාර ලෙස, කාගේවත් මතවලට සවන් නොදී ක්‍රියාත්මක කිරීමට රජය ගෙන යන මේ වැඩපිළිවෙළ නිසා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

මාලිමා රජය බලයට පත් වුණේ සම්පූර්ණ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එන පොරොන්දුව මත. ඒ වගේම ඔවුන් බලයට එන්න භාවිතා කල ප්‍රධාන සටන් පාඨයක් තමයි ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු මේ සියලු කාරණා ප්‍රතික්ෂේප කරමින් වර්තමාන රජය වෙනත් පාරක ගමන් කරමින් සිටිනවා.

1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ හවක පාලන තන්ත්‍රය බලයට පත්වෙන්න භාවිතා කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණු කරුණු කාරණා ඔවුන් බලයට පත් වූ පසු ඒ ආකාරයටම ක්‍රියාත්මක කළා. උදාහරණයක් විදිහට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, විධායක ජනාධිපතිධූරය ඇති කිරීම වැනි කාරණා අපිට පෙන්වා දෙන්න පුලුවන්.

එතැනින් පස්සේ දීර්ඝ කාලයක් පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට සංශෝධන එකතු වුණා. ඔබ බැලුවොත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා අවශ්‍යතාවය අනුව. ලෝකයේ අවශ්‍යතාවය අනුව විටින් විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙලා තිබෙනවා.

නමුත් මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 සිට 147 දක්වා, ව්‍යවස්ථාවේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කෙසේ ද ආරක්ෂා කරමින් පාලන යන්ත්‍රයක් ක්‍රියා කරන්නේ කියන කාරණයයි.

එහෙමනම් යම් සංශෝධනයක් ඊට අවශ්‍ය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86, 87 කියන වගන්තිවල ඇතුළත් කර තිබෙන පරිදි ජනතාවට පූර්ණ බලය ලබා දෙමින් අදාළ කාරණා වෙනස් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි කාරණයේ ඉතා පැහැදිලිව සටහන් කරලා තිබෙනවා, ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’ කියලා. ව්‍යවස්ථාවේ සටහන් කරලා නෑ ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනාධිපතිවරයා සතුවන්නේය’ කියලා. එහෙම නැත්නම් මෙතන සඳහන් කරලා නෑ ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුව සතුවන්නේය’ කියලා. එහෙම නැත්නම් මෙතන සඳහන් කරලා නෑ ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අධිකරණය සතුවන්නේය’ කියලා. එහෙම වගන්තියක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කර තිබෙන ප්‍රධානම වගන්තිය තමයි, ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හැර නොහැක්කේය.’ කියලා. එහෙනම් මහජනතාවට ඒ පරමාධිපත්‍යය අතහැරීම කළ නොහැක.

‘පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය.’

එහෙනම් මේ වර්තමාන පාලනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය හොරා කෑමක්. මේක ඉතා බරපතළ ප්‍රශ්නයක්. මෙය ඉතා පරිස්සමෙන් හසුරුවා ගත යුතුයි. උදාහරණයක් හැටියට ජනාධිපතිවරයාට තිබෙනවා ධුරය අහෝසි වීමට කරුණු කාරණා සටහන් කරලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ඒ එක ප්‍රධාන කාරණයක්. කාරණා ගණනාවක් සටහන් කරලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.

බරපතළ නරක තැනකට වර්තමාන පාලන යන්ත්‍රය රට ගෙන යමින් තිබෙනවා. මෙය මුළු මහත් රටත්, ජාතියත්, ජාත්‍යන්තර සම්බන්ධතාත් විනාශ කර ගැනීම සඳහා කරගෙන යන ක්‍රියාදාමයක් හැටියටයි අපිට ප්‍රකාශ කරන්න තිබෙන්නේ.

මේ නරක තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා මහජනතාවගේ ඡන්ද අයිතිය සොරා කෑම නොකළ යුතුයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම යෝජනා කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කරමින් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් තුළින් ජනතාවට ඒ අයිතිය තහවුරු කළ යුතුය යන්නයි. එසේ නොකළහොත් අනාගතයේ මහජනතාව කොයි ආකාරයට හැසිරෙයිද කියලා අපිට ප්‍රකාශ කරන්න බැහැ. මොකද මහජනතාවට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවේ නීති විරෝධී වැඩක් ශ්‍රී ලංකාව තුළ සිදු වුණොත්, ඒ නීති විරෝධී වැඩේ නැවත ආපස්සට හැරවීමත් මහජනතාව සතු කාරණයක්.

ඉතින් මහජනතාව එය කෙසේ ආපස්සට හරවයිද, ඒ සඳහා සිදුවන ක්‍රියාවලියෙන් අගතියට පත්වන පාර්ශවයන් කවුරුන්ද කියන එක කල්පනාවෙන් සිතා බැලිය යුතුයි. ලෝකයේ රටවල් මෙවැනි අවස්ථාවල අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ කාල පරිච්ඡේද දීර්ඝ කරගත් විනිශ්චයකාරවරුන් මේ පිළිබඳ නඩු විභාග කළාම, ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා සමහර අවස්ථාවල, ‘අපි අද මේ වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කිරීමට අවසර දෙනවා, හැබැයි මම මෙය භුක්ති විඳින්නේ නෑ.’ යනුවෙන්. ඒ කියන්නේ තමන් අහන නඩුව තමන් විසින්ම භුක්ති විඳීම සිදු කරන්නේ නැති බව ලෝකයේ අධිකරණ මෙවැනි අවස්ථාවන්හීදී ප්‍රකාශ කර තිබෙනවා. ඒවා ආදර්ශයට ගැනීම ශ්‍රී ලංකාවේ යුතුකමක් හැටියටයි මේ අවස්ථාවේදී අවසාන වශයෙන් මා මතක් කරන්නේ.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

22 වැනි සංශෝධනය පිළිබඳව කතා කරන වෙලාවේ, මේ සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වයන් එක්ක ඉතාම වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ගැන තමයි අපි කතා කරන්නේ. කිසි වෙලාවක අපි අධිකරණයට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් අපේ පැතිවලින් සිද්ධ වන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම මේ රටේ අද සමහර නඩු තීන්දු සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයන් මැදිහත් වෙනවද කියන කාරණය පිළිබඳව විශාල කුකුසක් රටේ ජනතාවට ඇතිවෙලා තිබෙනවා.

විශේෂයෙන්ම මේක පාර්ලිමේන්තුවේදීත් මතු කරා, මේ 2021 මැයි මාසයේදී අපි සියලුදෙනාම දන්නවා X-Press Pearl කියන නැව ලංකාවේ කොළඹ වරායට ඇතුළු වෙලා, ඒකේ එලියට යැව්වයින් පස්සේ ගිනි ගත්තා. මේකෙන් විශේෂයෙන්ම ප්ලාස්ටික් බිලියන ගණනක්, අන්තරායකර රසායනික ද්‍රව්‍ය තොගයක්, තෙල් සම්පූර්ණයෙන් ලංකාවේ මුහුදු පරිසරෙ පද්ධතියට එකතු වුණා. ඓතිහාසිකව සිදුවුණු දරුණුතම සාගරික පරිසර විනාශය බවට මේක පත්වුණා.

මසුන් ඇල්ලීම මාස ගණනක් නතර වුණා. බස්නාහිර වෙරළ තීරය පුරා පවුල් දහස් ගණනක්, පවුල් 19,000කට අධික ප්‍රමාණයක් මෙයින් විශාල පීඩාවකට පත්වුණා ඔබට මතක ඇති. මේක සිද්ධ වුණේ 2021දී. මේ පිළිබඳව විශාල කතිකාවතක් ඒ කාලයේ ඇතිවුණා.

මේ රටේ ධීවර ජනතාවගේන් අති බහුතරයක් කතෝලික ජනතාව තමයි සිටින්නේ. ඔවුන් මේ පිළිබඳව නඩුවක් පවරනවා. මේ නඩුවේ ඇත්තටම පාර්ශවයන් හයක් ඉන්නවා. විශේෂයෙන්ම නඩු හයක් විදිහට තමයි ඒක දාන්නේ. ඒ නඩු හයම විභාගයට ගන්නවා. ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ රටේ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය මුර්ධු ප්‍රනාන්දු මැතිනිය ඇතුළු විනිශ්චයකාරවරුන් පස්දෙනෙක්ගේ විනිශ්ච මණ්ඩලයක් මගින්.

මේ විනිශ්ච මණ්ඩලය මගින් තීන්දුවක් ලබා දෙනවා, 2025 ජූලි 24 වෙනිදා, වසර හතරක් මේ නඩුව අහනවා. ඇහුවයින් පස්සේ මේ නෞකාවේ දේශීය නියෝජිතයා, එහි හිමිකරු, මෙහෙයුම්කරු ඒකාබද්ධව හෝ තනිව මේකට වගකියන්න ඕනේ කියලා මේ නඩු තීන්දුවේදී තීරණය කරනවා.

රුපියල් බිලියනයක මූලික වන්දියක් ගෙවන ලෙසත්, ඊලඟට තවත් තක්සේරු ඊළඟට ඉදිරියට යන බවත් බොහොම පැහැදිලිව මේ නඩු තීන්දුවේ තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව, ඇමරිකන් ඩොලර් බිලියනයක ආරම්භක වන්දියක් එක්ක විශේෂයෙන් අධිකරණය විශේෂ මණ්ඩලයක් X-Press Pearl වන්දි කොමිසම කියලා ස්ථාපිත කරනවා. එතකොට එහි සභාපතිත්වය දරන්නේ විශේෂයෙන්ම ගාමිණී අමරසේකර කියන අපේ හිටපු විනිශ්චයකාරතුමෙක්. එතුමාගේ නායකත්වයෙන් තමයි මේක හැදෙන්නේ.

ඒ නඩු තීන්දුවේ 899 වෙනි පරිච්ඡේදයේ බොහොම පැහැදිලිව කියනවා මේ නඩුව අවසන් නැහැ, “මම විශ්‍රාම යනවා”. කවුද මේක කියන්නේ? මුර්ධු ප්‍රනාන්දු මැතිනිය, මේ රටේ අග්‍රවිනිශ්චයකාරතුමිය. එතකොට එතුමිය කියනවා මම මේකෙන් විශ්‍රාම යනවා, ඒ වගේම එළඹෙන අග්‍රවිනිශ්චයකාරතුමා ඉදිරියේ මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න කියලා රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කරනවා ඉදිරි කටයුතු ටික ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව ශ්‍රී ලංකාවේ 49 වැනි අග්‍රවිනිශ්චයකාරවරයා විදිහට ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමා අග්‍රවිනිශ්චයකාර ධුරයේ දිවුරුම් දෙනවා.

ඊටපස්සේ විශේෂයෙන්ම පළමු වාරිකය විදිහට ඩොලර් මිලියන 250ක් තැන්පත් කරන්න කියලා කියනවා ට්‍රෙෂරි එකේ, නැත්නම් මුදල් අමාත්‍යාංශයේ. දැන් මේ ක්‍රියාවලිය තුළ අපිට බලාගෙන ගියාම අවසානයේ මේකෙන් ගෙවලා තියෙන්නේ රුපියල් මිලියන 300ක්. ඒ කියන්නේ ඩොලර් මිලියනයක මුදලක් තමයි මේකේ දීලා තිබෙන්නේ.

විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ලේකම්/රෙජිස්ට්‍රාර්වරයාගෙන් පිළිතුරු ඉල්ලුවා දැන් මොකක්ද අපි මේකට කරන්නේ? මේ වන්දි කොමිසමක් පිහිටුවලා තියෙනවා, Expert Panel දෙකක් හදලා තියෙනවා, අපි මොනවාද දැන් මේකට කරන්නේ කියලා. මෙතෙක් දුරට ඒ අයට ඒ සම්බන්ධව තීන්දුවක් ඇවිත් තිබුණේ නැහැ. ඒ වගේම ඒ අයගේ වේතනයන් පිළිබඳව, නැත්නම් දීමනාවන් පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ, මේ සභාපති ධුරයෙන් මේ විනිශ්චයකාරතුමා ඉල්ලා අයින් වෙනවා.

එතකොට දැන් මේ ක්‍රියාවලිය සම්බන්ධ වැදගත්ම කාරණය තමයි, මේ 2025 සැප්තැම්බර් 25 අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ තුන්දෙනෙක්ගේ නායකත්වයෙන් සිද්ධ වෙන ඒ ක්‍රියාවලියට පෙරාතුව ලංකාවේ ජනාධිපතිට, අනුර කුමාර දිසානායක මහත්තයාට ලිපියක් යවනවා ජේම්ස් බීන් (James Bean), CEO, London P&I Club. මේ අය තමයි මේ සම්බන්ධව තිබෙන ඉන්ෂුවරන්ස් කම්පැනිය. මොකද දැන් මේ 1 Billion US Dollars ගෙවන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ කතා කරන්න ගියාම ඩොලර් බිලියන 6.7ක වන්දියක් ගති යුතුයි කියන තැන ඉඳලා තමයි මේ වැඩ කරගෙන යන්නේ. ඩොලර් බිලියන 6.7ක වන්දියක් ලබා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග තමයි මුර්ධු ප්‍රනාන්දු මැතිනියගේ ඒ පස්දෙනෙකුගෙන් යුතු පංච පුද්ගල ඒ තීන්දුවෙන් ලබා දෙන්නේ. එතකොට ඒකත් එක්ක තමයි මේ කොමිසන් සභාව පිහිටුවන්නේ. ඊළඟට විනිශ්චයකාරතුමියගේ නායකත්වයෙන් ඒක ක්‍රියාත්මක කරන්නේ. මේ ඉදිරි කටයුතු පිළිබඳව ක්‍රියාත්මක කරගෙන යන්නේ.

දැන් එතකොට මේ ලිපිය ලියන්නේ 2025 නොවැම්බර් 14 වෙනිදා. එතකොට ඒ නොවැම්බර් 14 වෙනිදා ජනාධිපතිවරයාට ලියුමක් යවනවා, ඊළඟට ආපහු මේ සම්බන්ධව නැවත සැප්තැම්බර් 19 වෙනිදා, ඒ කියන්නේ 2025 සැප්තැම්බර් 19ක ලියුමක් යවනවා, ඊළඟට නොවැම්බර් 25 තව ලියුමක් යවනවා. මේකෙදි ඔවුන් බොහොම පැහැදිලිව කියනවා මේ ක්‍රියාවලියට ජනාධිපතිතුමාට යෝජනා කරනවා එක්කෙනෙක් නම් කරන්න කියලා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. දැන් මේ උසාවියේ තියෙන නඩුවක්. උසාවියේ නඩුවක් යනකොට, මේ උසාවියේ නඩුව සම්බන්ධයෙන් වන්දි ගෙවන්න කියලා තීන්දුවක් ආවයින් පස්සේ, ඒක සාකච්ඡා කරන්න ජනාධිපතිවරයාට කොහොමද මේ අය ලියන්නේ? මේක පැහැදිලිව අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑමක්.

එතකොට මෙතනින් පස්සේ තමයි නීතිපති විසින් මෝසමක් ගොනු කරන්නේ මේ විනිශ්චයකාරතුමන්ලා තුන්දෙනා ඉදිරියේ. හැබැයි ඒ මෝසමේ පිටපතක් අද වෙනතුරු, මේ දැන් මම කතා කරනතුරුත් මේ පැමිණිලි පාර්ශවයන් හයක් ඉන්නවා මේ නඩුවේ, ඒ අයට මේ මෝසමේ පිටපතක් දෙන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ මොනවා මතද මේ නඩුව Terminate කරේ කියලා, මේක තහනම් කරේ කියලා.

එතකොට අද මොකක්ද දැන් සිද්ධ වෙලා තියෙන්නේ? අද ඩොලර් බිලියනයකුත් නැහැ, ඩොලර් මිලියනයක් යන්තම් තැන්පත් කරලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා Expert Committees ගණනාවක් පත් කරලා. විශේෂයෙන්ම මම ඒකත් කිව්වොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා, මේ X-Press Pearl Compensation Commission එකේ Independent Experts (ඒ කියන්නේ ස්වාධීන විශේෂඥවරු) ඉන්නවා:

මේ අයට දැන් මොකක්ද කරන්නේ කියලා ඒගොල්ලෝ විශාල අර්බුදයක ඉන්නේ. මොකද මේ මෝසම ඉදිරිපත් කළේ කොහොමද කියලා දන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා, පාර්ශවයන් එක් පාර්ශවයක් ගිහිල්ලා නඩුවක් පවරනකොට, ඒ නඩුවේ තිබෙන සියලුම කරුණු ටික අනික් පාර්ශවයට දෙන්න ඕනේ ඒ සම්බන්ධව ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. හැබැයි මේ මෝසම ඉදිරිපත් කරනවා නීතිපති, එදාම මේ කොම්පැනිය එදත් ඔවුනුත් ඉදිරිපත් කරනවා තව මෝසමක්. මේ දෙගොල්ලොම මේ මෝසම ඉදිරිපත් කරනවා, තීන්දුවක් දෙනවා මේක Terminate කරයි කියලා, මේ නඩුව අවසන්.

දැන් ඊළඟට ඒකත් එක්කම සැප්තැම්බර් 24 මේ London P&I Club කියන ආයතනයෙන් ඉදිරිපත් කරනවා තව ලිපියක් Rachel Reeves, Chancellor of the Exchequer (මේ බ්‍රිතාන්‍යයේ භාණ්ඩාගාර ලේකම්ට) ලිපියක් ඉදිරිපත් කරනවා මේ සම්බන්ධව මැදිහත් වෙලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. ඉතින් මම අහන්න කැමතියි, දැන් මේ ලිපිවල ප්‍රතිඵලයක් නිසාදෝ මේ සිද්ධිය දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ජනාධිපතිවරයාට ලියනවා, බ්‍රිතාන්‍යයේ එහෙ ඉන්න මුදල් ලේකම්ට ලියනවා, එතකොට මේ එක පැත්තකින් බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර යම්කිසි සාකච්ඡාවක් සිද්ධ වුණාද? නැත්නම් නීතිපතිට කවුද උපදෙස් දුන්නේ මේ නඩුව සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කරන්න? මේ වගේ කරුණු ගණනාවක් දැන් මේක පිටිපස්සේ දැන් තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි, මේකත් එක්ක ගත්තයින් පස්සේ, මේ X-Press Pearl වන්දි ප්‍රමාණය කෝටි 33,000කට වැඩියි මේ රටට දෙන්න තිබිච්ච. විශේෂයෙන්ම ගත්තොත්, ඩොලර් මිලියන 300යි ගියේ දකුණු අධිවේගී මාර්ගය හදන්න (250යි). ඒ 250 ඒවා කල්පනා කරලා බලන්න 33,000ට කොච්චරක් අපිට හදන්න පුළුවන්ද කියලා. එතකොට අනික් පැත්තෙන් ගත්තම ඩොලර් මිලියන 300යි කෝටි 3,000යි ගියේ කටුනායක සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හදන්න. ඒ වගේ අධිවේගී මාර්ග 10ක් හදන්න තියෙන සල්ලි මේ කෝටි 33,000.

දැන් මේක වෙන කවුරුහරි කෙරෙව්වා නම්, වෙන ආණ්ඩුවක් විසින් මේ වගේ වැඩපිළිවෙලක් කරා නම්, මොකක්ද ඇතිවෙන තත්ත්වය? මේ රටට එන්න තිබිච්ච මූලික එක මම මේ කියන්නේ. 1 Billion US Dollars වල ගාන. හැබැයි බිලියන 6.7ක් එන්න තියෙන කාරණයක් මෙතන තියෙන්නේ. ඩොලර් බිලියන 6.7ක්. ලංකාවේ සංචිත නැහැ කියලා දඟලනවා, ණය ගෙවාගන්න ඩොලර් බිලියන 15ක් ඕනේ කියලා ගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ඉදිරියේ තියෙන ප්‍රශ්නය මේ 22 වෙනි සංශෝධනය නෙමෙයි, ප්‍රශ්නය තියෙන්නේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. එතකොට මේ එන්න තියෙන මෙච්චර මුදලක් තියෙද්දී, මේ නීතිපතිවරයාට බලපෑම් කරලා, කවුද මේකට අත ගැහුවේ මේ නඩුව නවත්තන්න? අපිට තියෙන ප්‍රශ්නය ඒකයි.

ඒ නිසා මේක පිටිපස්සේ තව තියෙනවා කරුණු අපි හෙට අනිද්දා ඉදිරිපත් කරන්නම්. මේවත් එක්ක ගැටගැහිලා තිබෙන මේ X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිතයන් එක්ක තිබිච්ච සම්බන්ධතා, ඒවත් එක්ක ගිය නිවාස පිළිබඳව, හුවමාරු වෙච්ච දේවල් මොනවාද කියලා, අපි තව තියෙනවා ගණනාවක් මම ඒක ඉදිරිපත් කරන්නම් අනාගතයේදී. මේක අති දැවැන්ත හොරකමක්, මතක තියාගන්න. දැවැන්ත මහදවාලේ කරපු වංචාවක්. ඒ නිසා මේකට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ. මේ ජනාධිපතිවරයා පිළිතුරක් දෙන්න ඕනේ මේ සම්බන්ධව මොකක්ද එතුමා මේ ලිපිවලට කරේ කියලා.

නීතිපති ඇවිල්ලා එලියට ඇවිල්ලා කියන්න ඕනේ කවුද මේ නඩුවට මෝසමක් ඉදිරිපත් කරලා මේ නඩුව ගත්තේ. එතකොට ඇයි ඔහු මේකට අවශ්‍ය කරන Documents serve කරේ නැත්තේ අනිත් පාර්ශවයන්වලට? මේක අති දැවැන්ත හොරකමක් විතරක් නෙමෙයි, මතක තියාගන්න තව ටිකක් කල් යනකොට මේක රටේම විශාලම දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මොකද හේතුව වෙන එකක් නෙමෙයි, රටට තිබිච්ච මහා දැවැන්ත ඒ මුදල, ලැබෙන්න තිබිච්ච මුදල අහිමි කරපු මිනිස්සුන්ට විරුද්ධව අපි ඉදිරි ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ගන්නවා. ඒ වගේම මේ සම්බන්ධය කොහොමද නැවතුනේ, මේ නීතිපතිවරයාට කොහෙන්ද බලපෑම ආවේ, මේවා සම්බන්ධව දවසගානේ අපිට තොරතුරු ලැබෙනවා.

දැන් අද මීපා (MEPA) ආයතනයට සිද්ධ වෙලා තියෙන දේ තමයි ඒගොල්ලෝ කියනවා අපිට මුකුත් කරන්න විදිහක් නැහැ. දැන් ඊයේ පරිසර අමාත්‍යාංශයේ තිබුණා කාරක සභාව, ඒකෙදි අපි ප්‍රශ්න කරපුවාම ඔවුන් කියනවා අපිටනම් කරන්න දෙයක් නැහැ මොකද අපි දන්නෙත් නැහැ දැන් මොකක්ද කරන්නේ කියලා. මොකද හේතුව, වන්දි කොමිසමකුත් තියෙනවා, Experts ලා ඉන්නවා, ඒගොල්ලන්ට ගෙවීම් කරන්න ඕනේ, ඒකට ගෙවීම් කරන්න විදිහකුත් නැහැ. රුපියල් මිලියන 300ක් තියෙනවා, ඒකෙන් ගෙවලා මේක නතර කරන්න බැහැ. එතකොට අපිටද දැන් මේ වන්දි කටයුතු ඉදිරියට ගෙනියන්න බැහැ.

ඒ කියන්නේ X-Press Pearl වන්දියෙන් මේ රටට සිදුවුණු, එයින් සිදුවූ විනාශයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න බැරි තැනකට දැන් තල්ලු වෙලා තියෙනවා. ඉතින් මම අපේ කාදිනල් උතුමාණන්ගෙන් ඉල්ලනවා මේ රටේ ආණ්ඩුව හොඳට කරනවා කියලා කියනවා නම්, කරුණාකරලා ඔබවහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිනවා, කරුණාකරලා ගිහිල්ලා ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා, මේ මේ දැවැන්ත මුදල් ප්‍රමාණය ලංකාවට එන එක නැවැත්තුවේ කවුද? මේකට කවුද වගකියන්නේ? ඇයි මේ වන්දි කොමිසම මේක සම්පූර්ණයෙන් දැන් නතර වෙලා තියෙන්නේ? කවුද මේවා අඩපණ කරලා තියෙන්නේ? මේ රටේ ධීවරයන් 19,000කට මේ අවශ්‍ය කරන වන්දි ප්‍රමාණය ලබා ගැනීම නතර වෙලා තියෙන්නේ කොහෙන්ද? මෙන්න මේක ගැන විශේෂයෙන්ම අපේ කාදිනල් උතුමාණන්ගෙන් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපේ ගුරුගේ මැතිතුමා මම හිතන්නේ එක ප්‍රකාශයක් කරා, ඒකත් එක්ක තව වැදගත්ම කාරණයක් මම මතු කරන්නම්. මේ ජනාධිපතිතුමාට පුළුවන් ගිහිල්ලා අග්‍රවිනිශ්චයකාරතුමාගෙන්ම අහන්න, තුන්දෙනෙක් නැතුව දෙන්නෙක් කොහොමද එකතු වෙලා Judgment එකක් දුන්නේ කියලා. දැන් ඔබතුමාලා දන්නවා, ඒකට උදාහරණයක් එක්කම තියෙනවා මොකද එතුමාම තමයි ඒ නඩුව අහලා තියෙන්නේ. මේ ඔබට මතක ඇති 2006 දෙසැම්බර් 19 වෙනිදා දරුවෝ නවදෙනෙක්, අටදෙනෙක් අතුරුදහන් වෙනවා මුරුසුවිල් වල, මේ අය හමුදාවේ බාරයේ ඉන්නකොට, මේ අටදෙනෙක්. ඔබතුමාලට මතක ඇති මේ සිද්ධිය. මේ සිද්ධිය සම්බන්ධව නඩුවක් පවරනවා.

අවුරුදු 13කට පස්සේ Trial-at-Bar එකක් පත් කරන්නේ. ඒ තීන්දුව ලබා දෙන්නේ කවුරුවත් නෙමෙයි, ලලිත් ජයසූරිය මැතිතුමාත්, ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමාත්. ඒ අනුව කරුණු 17ක් යටතේ මේකට අදාළ පුද්ගලයාව මරණයට දණ්ඩනයට වරදකරු කරනවා. ඉතින් මේ අර 450ක් විතර තියෙන එක උදාහරණයක් තමයි මම කිව්වේ. ඉතින් ජනාධිපතිතුමාට පුළුවන් අහන්න ගිහිල්ලා අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් ඔබතුමානෙනි, ඔබතුමා මේ නේද මේ තීන්දුව දීලා තියෙන්නේ තුන්දෙනෙක් නැතුව දෙන්නෙක්, එහෙනම් අපිට එහෙම දෙන්න පුළුවන් නේද කියලා.

ඉතින් ඒකවත් තේරෙන්නේ නැති ජනාධිපතිවරයෙක්, ඒ කියන්නේ මේ රටේ මේ එක නඩුවක අවසාන වෙනකල්, දැන් එහෙනම් මිනිස්සුන්ට කියන්න පුළුවන් ලෙඩා හොඳ වෙනකල් දොස්තරගේ කාලය දීර්ඝ කරන්න. ලෙඩක් තියෙන දොස්තර කෙනෙක්ගෙන් ගිහින් බෙහෙත් ගන්නවා, ඒ දොස්තරගේ කාලය මේ ලෙඩාව ඉවරවෙනකල්ම තියාගෙන ඉන්න. ඉතින් ඒ නිසා මේ කරන්නේ ඇත්ත වශයෙන්ම කියාගන්න දෙයක් නැහැ අද ජනාධිපතිට. මොකද හේතුව, 17 දෙනෙක් ඉන්නවා මහාධිකරණ විනිසුරුවරු පත් කරන්න. 110ක් ඉන්න ඕනේ විනිශ්චයකාරවරුන්ගෙන් ඉන්නේ 93 දෙනයි මහාධිකරණවල.

ඊළඟට අනික් කාරණය තමයි, අනික් පැත්තෙන් ගත්තම මේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්න ඉන්න විනිශ්චයකාරතුමන්ලා එක එක්කෙනා විශ්‍රාම යනවා. දැන් සැප්තැම්බර් 02 වෙනිදා ගුරුසිංහ මැතිතුමා විශ්‍රාම යනවා පෙනී පෙනී. ඇයි මේ වැඩේ කරන්නේ? මොකද හේතුව, බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩු ප්‍රමාණය අග්‍රවිනිශ්චයකාරතුමා බොහොම පැහැදිලිව කිව්වා 225 වෙනි ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව තිබිච්ච ඒ උත්සවයේදී. අභියාචනාධිකරණයේ තියෙන නඩු ප්‍රමාණය සීමා සහිතයි, එතනත් තියෙන්නේ ඉතාම කුඩා නඩු ප්‍රමාණයක්. ඒ නඩු අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ වෙනුවට මොකක්ද කරන්න හදන්නේ? පළාත්බද්ධ සංචාරක අභියාචනාධිකරණ ඇති කරන්න හදනවා.

දැන් පළාත්බද්ධ සංචාරක අභියාචනාධිකරණ ඇති කරපුවාම තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි, දැන් මේ බලය බෙදීම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් රට ඇතුලේ කතාවෙමින් තිබෙන තත්ත්වයක් තියෙන්නේ. හැබැයි මේකත් එක්ක, පළාත්බද්ධව මේ ඉන්න අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා දැන් යන්න ඕනේ ඒකට. දැන් උතුරු පළාතට කවුරුහරි යන්න ඕනේ, දකුණු පළාතට යන්න ඕනේ. එතකොට එතන තියෙන වැඩ ටික හදන්න ඕනේ. මේ නඩු කීයක්ද මේ තියෙන්නේ? නඩු තියෙන්නේ 4,500යි. නඩු 4,500කට පළාත්බද්ධ සංචාරක අභියාචනාධිකරණ හදපුවාම, මම අහන්න කැමතියි මේක කොතනටද මේ තල්ලු වෙන්නේ?

ඊළඟට ඔබ දන්නවා දැන් මේ වෙනකොට උතුරු-නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙලක් පටන් ගන්න හදනවා. ඩොලර් මිලියන 100කින්. ඇයි මේක ඒකාබද්ධ කරලා තියෙන්නේ? උතුරු ප්‍රදේශයට ඕනේ නම් වෙනම සංවර්ධන වැඩපිළිවෙලක් යන්න පුළුවන්, නැගෙනහිරට තව සංවර්ධන වැඩපිළිවෙලක් යන්න පුළුවන්. ඒක තියෙද්දී උතුරු-නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය කියලා වැඩපිළිවෙලක් හදලා ඩොලර් මිලියන 100ක් දාලා ඒ ක්‍රියාදාමය යනවා. ඒ එක්කම පළාත්බද්ධ අභියාචනාධිකරණ හදන්න උත්සාහ කරනවා ඊළඟට.

දැන් මේ වගෙන් දෙන තීන්දු සම්බන්ධව කිසියම් විදියකට බලපෑම් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා, එවැනි තත්ත්වයන් මේ රටේ දැන් ඇතිවෙමින් තිබෙනවා. ඒ නිසා මේක මේ රටේ ඊළඟට ඔවුන් ක්‍රියාත්මක කරන්න හදනවා විහාර දේවාලගම් පනත සම්බන්ධව යම් ක්‍රියාමාර්ග ගන්න හදනවා. මේ රටේ විශාල වශයෙන් විහාරස්ථානවලට අයිති වෙලා, අපේ ස්වාමීන් වහන්සේලාට අයිති වෙලා තිබුණ, ඊළඟට පල්ලිවලට අයිති වෙලා තිබෙන මේ දේපල සම්බන්ධව, ඒවා බදු දීලා තිබෙන අයගෙන් යම් බදු මුදලක් සාධාරණව අය කිරීම තමයි කළ යුත්තේ. එසේ නොවන ඒවා සම්බන්ධව ඕනේ නම් උත්සව ශාලා අමාත්‍යාංශයේ උත්සව ශාලා කොමසාරිස්තුමාට තීන්දුවක් ගන්න පුළුවන්. එහෙම තියෙද්දී, මේ තිබෙන ඉඩකඩම් සියල්ලම වෙන විදියකට ලබා දීමේ වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක වෙන්නේ.

එතකොට බොහොම පැහැදිලිව මතක තියාගන්න, මේ 22 වැනි සංශෝධනයේ ආරම්භය තමයි ලංකාවේ ඒකීය රාජ්‍යය සම්පූර්ණයෙන් විනාශ වන තැනට තල්ලු වෙන එක. දෙක, බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් විනාශ මුඛයට පත්වෙන තැනට තල්ලු වෙනවා. අනිත් ආගම් ගැන අපිට කතා කරන්න බැරි තැනට තල්ලු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා

යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියළු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ප්‍රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතුයි.  නමුත්, නීති සම්පාදනයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම ව්‍යවහාරයන් පැත්තකට දාලා, තනිකරම ඒකාධිපති – උද්ධච්ච ‘නීති සම්පාදන ව්‍යවහාරයක්’ බවට පත්වෙමින් තියෙනවා.

ආණ්ඩුව මේ ඒකාධිපති – උද්ධච්ච ප්‍රවේශය ලබාගෙන තියෙන්නේ රටේ ආර්ථිකය දවසින් දවස විනාශ මුඛයට යමින් ජනතාවගේ ආර්ථිකයට බලපෑම් කරන නිසයි.

 ආණ්ඩුව මේ සතියේ අලුත් නීති තුනක් පාර්ලිමේන්තුවට ගෙනාවා. 

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත,  දුෂණ විරෝධී පනත  සංශෝධනය කියන නිති තුනම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක සාකච්ඡා කරලා නෑ. ආණ්ඩුව පැත්තෙන් කිසිම සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් තියලා නෑ.  මේ විෂයයන් ගැන විශේෂඥ දැනුමක් තියෙන උගත් බුද්ධිමත් පිරිසක් එක්ක කතා කරලා නෑ. සිවිල් සංවිධාන එක්ක කතා  කරලා නෑ.

මේ ව්‍යවහාරය තනිකරම ‘ඒකාධිපති – උද්දච්ච’ වැඩක්. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. තමන්ට හිතෙන හිතෙන නීති සම්පාදනය කරනවා. තුනෙන් දෙකක් තියෙන නිසා ඒවා සම්මත කර ගන්න පුළුවන් කියලා හිතලා තනිකරම තනිකරම වියරු ඒකාධිපති ගමනක් යනවා.

ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ දෙනා කතා නොකළ දෙයක් තමයි පළාත් මට්ටමින් අභියාචනාධිකරණ පිහිටුවීම.  අභියාචනාධිකරණයක් බොහෝ විට රටේ පවතින නීතිය අර්ථ ගන්වලා ව්‍යවහාරයෙන් නව නීති සකස් කරනවා. මේක පළාත් මට්ටමින් සිදු කරන්න ගියාම, එක එක පලාතට වෙනස් වෙනත් තීන්දු එන්න පුළුවන්.  උදාහරණයක් විදිහට යාපනයේ පිහිටුවන අභියාචනාධිකරණයේ තීරණය මධ්‍යම හෝ ඌව පළාතේ තීරණයට පරස්පර වෙන්න පුළුවන්.

අඩුම ගානේ මෙවැනි සංකීර්ණ තාක්ෂණික කාරනා ගැනවත් සාකච්ඡාවක් කරන්නේ නැතුව තමයි මේ පනත් පාර්ලිමේන්තුවට ගෙන්නේ.    මේවා ගැන සාකච්ඡා නොකර හදන නීති අනාගතයේ දවසක මුළු රටම අවුල් ජාලයක් කරන්න පුළුවන්.

සමාජයේ සෑම ස්ථරයක්ම බියෙන් තැති ගන්වලා, මර්ධනය කරලා, තනිකරම ඒකාධිපති ගමනක් මේ යන්න හදන්නේ. මේ ගමන වැලැක්වීම සඳහා සියළුම දේශපාලන පක්ෂ එක් විය යුතුයි.

මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතිඥ ප්‍රියාල් දර්ශන ගුරුගේ, නව ජනතා පෙරමුණ වෙනුවෙන් එහි උපනායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි...

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී (82) නාවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාව ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගම බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇ:ඩො:94.18 දක්වා ඉහළට. WTI තෙල් මිල ඇ:ඩො:87.07 ක් ලෙස සටහන් වෙයි: විදෙස්...

හිටපු පා.ම ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img