ගොවි ජනතාව මුහුණ පා සිටින අසීරුතාව සලකා ඔවුන්ට කඩිනමින් රසායනික පොහොර නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු සිය අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මේ අතර, අක්කර 20,000ක පමණ භූමි ප්‍රමාණයක වී වගාකරන මැදිරිගිරිය කාලිංග ඇළ බෙදුම් ඇල ගොවි සංවිධානයේ ගොවීන් අද (11) උද්ඝෝෂණයක නිරත වුණේ මෙවර මහ කන්නය සඳහා පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමිනි.
මැදවච්චිය රළපනාගම ගොවීන් මෙවර බඩඉරිඟු හා ළූණු ඇතුළු ගොඩබෝග වගාවන් සඳහා පොහොර නොමැති කමින් දැඩි පීඩාවට පත්ව සිටින අතර මැදවච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරයි.
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩකල්ලාගම, යකල්ල, කෝන්වැව යන ප්‍රදේශවල ගොවිජනතාව මේ වනවිට එළඹෙන මහ කන්නයට බිම් සකස් කිරීම සිදුකරන්නේ පොහොර නොමැතිව බඩඉරිඟු ඇතුළු ගොඩ බෝග වගාවන් සාර්ථක කරගතහැකිවේදැයි අවිශ්වාසයෙනි.
ප්‍රදේශයේ අක්කර 10,000කට වැඩි ප්‍රමාණයක් බඩඉරිඟු වගාව සඳහා වෙන්කිරීමට නියමිත වුවද මේ වනවිට ඉන් සියයට 50ක ප්‍රමාණය වගාබිම් සකස් කිරීම සිදුව නොමැත.
මේ අතර පොහොර අර්බුදය මැද වුවද මොරගහකන්ද මහවැලි කලාපයේ ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ නිකපිටිය හා සෑගල ගම්මානවල ගොවීන් යල කන්නයේ ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂයකට ආසන්න අස්වැන්නක් නෙළා ගත්තද සාධාරණ මිලක් නොමැති වීමෙන් අසීරුතාවන්ට මුහුණ පා සිටී.






















